FAST NEWS

24×7 Around the Globe

විජයකලා මහේෂ්වරන් මුළු මහත් සමාජයෙන් සමාව ගත යුතුයි….

එල්.ටී.ටී.ඊ නැවත පිහිටුවිය යුතු යැයි කියමින් මහජන නියෝජිතවරියක් විදියට බෙදුම්වාදය ආවඩන ප්‍රකාශයක් කිරීමට විජයකලා මහේෂ්වරන් හට කිසිදු අයිතියක් නැති බවත් ඇයගේ මේ ප්‍රකාශය ගැන මුළු මහත් සමාජයෙන් සමාව ගත යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අවධාරණය කරයි.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ (3) පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවක් අතරතුරයි.
“විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය ජනතා විමුක්ති පෙරමුණ හෙළා දකිනවා. මෙය බරපතල ප්‍රකාශයක් මහජන නියොජිතවරියක් විදියට ඇයට එහෙම කතා කරන්න අයිතියක් නැහැ. රට බෙදීමට සහය නොදෙන බවට සියලුම මන්ත්‍රීවරුන් ප්‍රතිඥාවක් දෙනවා.
ඇය ඒ ප්‍රතිඥාව කඩ කළා. මහේෂ්වරන් මහත්මිය ඒ ප්‍රකාශය ගැන ජාතියෙන් සමාව ගත යුතුයි. ඇය ගැන වහා පරීක්ෂණයක් කරලා පියවරක් ගත යුතුයි. පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව කැඳවා වහාම පියවරක් ගන්න. එහෙම නොකළහොත් නරක පුර්වාදර්ශයක් ඇතිවේවි. මෙවැනි ප්‍රකාශ තවත් අයගෙන් ප්‍රකාශ වුණා. අද රට ආරාජික වෙලා තැන් තැන්වල මීනීමරනවා බැංකු කඩනවා. එල්ටීටීඊය මානව හිමිකම් ආරක්ෂා කළේ නැහැ එල්ටීටීඊය කරපු කෘෘරකම් අප දැක්කා. දරුවන්ට වෙන හිරිහැරත් දැක්කා.
එල්ටීටීඊයෙන් දරුවන්ට රැකවරණය ලැබුණේ නැහැ. ඇය මේ ප්‍රකාශය කළේ ජනපති ජංගම සේවයකදීය. තවත් ඇමැතිවරු දෙදෙනකු එතැන හිටියා. මේ ගැන ආණ්ඩුවේ ස්ථාවරයත් කිව යුතුයි. ඇයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.”