FAST NEWS

24×7 Around the Globe

එක්නැලිගොඩ ගැන තොරතුරු හෙළි වේ. ඉදිරි දින කිහිපය තුලදී අත්අඩංගුවට ගැනීමක්?

 

2010 ජනවාරි මාසයේ සිට අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් මේ වනවිට වාර්තා වී ඇති බව සදහන් වේ.

සන්නද්ධ දෙමල ජාතිකයින් දෙදෙනෙකු විසින් කොළඹදී පැහැරගෙන යනු ලැබූ එක්නැලිගොඩ මහතා මින්නේරිය යුධ හමුදා කඳවුරට බාරදී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරු මත ඉදිරි දින කිහිපය තුලදී හමුදාවේ කර්නල්වරුන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.

රාජපක්ෂ පාලන සමයේදී ‘අතුරුදහන් වූ’ මාධ්‍යවේදීන් සම්බන්ධ පරීක්ෂණවල ලිපිගොනු යළි විවෘත කොට, එම පරීක්ෂණ යළි ආරම්භ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා අවධාරණය කර සිටියේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ බව කියා සිටියේ, පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිවේදීන්ගේ සංගමය විසින් ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ සංගමයේ හිටපු සභාපති නීතිඥ උපුල් ජයසූරිය මහතාට ‘නීතියේ ආධිපත්‍යය’ පිළිබඳ සම්මානය පිරිනැමීමේ උත්සවයට සහභාගි වෙමිනි.

” යටපත් වී තිබූ බොහෝ පරීක්ෂණ නැවත ඉස්මතු කරලා, නිවැරදි, අපක්ෂපාතී, සාධාරණ සහ යුක්ති සහගතව ඒ පරීක්ෂණ පැවැත්වීම ලබාදීමේ ඉඩකඩ මේ වනවිටත් අපි උපදෙස් දීල තියෙනව,” යයි ජනාධිපතිවරයා එහිදී පැවසීය.