FAST NEWS

24×7 Around the Globe

ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා මයිකල් ක්ලාක්ට අනතුරු අඟවයි.

අළුබඳුන ටෙස්ට් තරගමාලාවේ සිවුවැනි ටෙස්ට් තරගයේ දී ලකුණු අතරට පැමිණිමට අසමත්වුවහොත් ඔස්ටේ‍්‍රලියානු පිලේ නායක මයිකල් ක්ලාක්ගේ ටෙස්ට් කි‍්‍රකට් දිවිය නිමාවට පත්වනු ඇතැයි ඕස්ටේ‍්‍රලියානු මාධ්‍ය අනතුරු අඟවයි.

බරපතළ ලකුණු අහේනියකට ලක්ව, මේ වන විට දෙලොවක් අතර සිටින මයිකල් ක්ලාක් සිය ටෙස්ට් කි‍්‍රකට් දිවියේ අවසානය අතළඟ බව හොඳින් අවබෝධ කරගෙන ඇති බවද ඔවුහු අනුමාන කරති.

ඔස්ටේ‍්‍රලියානුවන්ට කඩුලූ 8 ක පරාජයක් උරුම කරමින් එජ්බැස්ටන් හී දී නිමාවට පත්වූ අළු බඳුන තරගමාලාවේ තුන්වැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 10 කටද, දෙවැනි ඉනිමේදී ලකුණු 3 කටද දැවී ගිය ඕස්ටේ‍්‍රලියානු නායකයා මෙතෙක් පැවැති ටෙස්ට් තරග 3 ඉනිම් 6 කදී ලබා ඇත්තේ ලකුණු 94 ක් පමණි. ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 19 දක්වා පහත වැටී තිබේ.

තරග 5 කින් සමන්විත අළුබඳුන ටෙස්ට් තරගමාලාවේදී ඔස්ටේ‍්‍රලියාව දැනටමත් 2-1කින් පසුබෑමකට ලක්ව සිටින අතර නැවත නැගී සිටීමට හෝ ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගැනීමේ කටුක යථාර්ථයට හෝ මුහුණදීමට ඔස්ටේ‍්‍රලියානු නායකයාට සිදුවී තිබේ.

ක්ලාක්ගේ ඉරණම මේ වනවිට ඔහුගේ පිතිහරඹයෙන් ඔබ්බට ගිය එකක් බවට පත්වී ඇතැයි සිඞ්නි මෝර්නින් හෙරල්ඞ් පුවත්පතේ ප‍්‍රධාන කී‍්‍රඩා වාර්තාකරු ඇන්ඩෘ වෙබ්ස්ටර් කියයි.

මීට පෙර බ‍්‍රැඞ් හැඩින්ට හා ෂේන් වොට්සන්ට අත්වූ ඉරණමටම දැන් ක්ලාක් ද මුුහුණපා සිටී. එබැවින් මීට වඩා උවමනාවෙන් පිත්ත හැසිරවීමට ඔහුට සිදුවී තිබේ. ක්ලාක් මුහුණපා සිටින ඉරණම ඔහුගේ ලකුණු ලබාගැනීමේ දුර්වලතාවට වඩා හොඳින් මුහුණින් පෙනෙන්නට තිබෙන බවද වෙබ්ස්ටර්ගේ හැඟීමයි.

”බාගෙවිට මට එසේ දැනෙන්නේ මා ඔහුගේ කි‍්‍රකට් ජීවිතයෙන් වැඩි කාලයක් ආවරණය කොට ඇති බැවින් විය හැකියි”
”කෙසේවුවත් ඔහු අඩු ලකුණු ගණනකට දැවී ගිය සෑම අවස්ථාවකදීම ඔහුගේ මුහුණේ තිබූ හිස් බව මා හොඳින් දැක තියෙනවා. ඔහු නැත්තටම නැතිවී සිටින ආකාරය මට පේනවා” යයි වෙබ්ස්ටර් කියයි.