මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ අජිත් ප්‍රසන්න මහතා ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසා සිටියේ ලසන්ත වික්රමතුංගගේ ඇටසැකිල්ල සෙවීමට වෙන කොහෙවත් යෑමට අවශ්‍ය නොවන බවත් එය සරත් ෆොන්සේකාගේ අල්මාරියේ තිබෙන බවත්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“ගෝඨාභය රාජපක්ෂ මහතා ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධයි කියලා දැන් හෙට අනිද්දා අත්අඩංගුවට ගන්න යනවා. ඊට කලින් තවත් තවත් කට්ටියක් ඉන්නවයි කියන එක තමයි මේකේ කියලා තියෙන්නේ. අනාගතයේ ජනාධිපතිවරණයකදී තරඟ කිරීමට ඉඩැති අපේක්ෂකයෙකුට , මම කියන්නේ නැහැ එතුමා තරඟ කරනවා කියලා, අපි දන්නේ නැහැ. නමුත් තරඟ කිරීමට ඉඩැති බව පෙනෙන අපේක්ෂකයෙක්ව ඉලක්ක කරගෙන තමයි මේ මඩ ප්‍රහාරය එල්ල කරලා තියෙන්නේ. අපි හොඳටම දන්නවා ලාල් වික්‍රමතුංග කියන්නේ ලසන්ත වික්රමතුංගගේ වැඩිමහල් සහෝදරයා. ජිනීවා කවුන්සිලයේ ප්‍රධානි නවිපිල්ලේට පැමිණිලි කරලා තිබෙනවා මගේ සහෝදරයාව මැරුවේ සරත් ෆොන්සේකාගේ කණ්ඩායම.”
“ජෝසෆ් මයිකල් පෙරේරා එවකට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක. පාර්ලිමේන්තුවේදී චෝදනා කරනවා ලසන්තව මැරුවේ, උපාලි තෙන්නකෝන්ට ගැහුවේ එකම කණ්ඩායමක්. ඒ සරත් ෆොන්සේකාගේ කණ්ඩායම. ඒ විතරක් නෙවෙයි එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කියනවා පාර්ලිමේන්තුවේදී ලසන්තව මැරුවෙත් සරත් ෆොන්සේකාගේ කණ්ඩායම. මෙහෙම චෝදනා කරන රනිල් වික්‍රමසිංහ 2010 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස තෝර ගන්නවා සරත් ෆොන්සේකාව. ඒකත් එක්කම ලසන්ත මැරුවේ සරත් ෆොන්සේකා නෙවෙයි රනිල්ට අනුව. මම කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයෝ ඔබතුමා තමයි අද පොලිස් ඇමැති, ලසන්තගේ ඇටසැකිල්ල හොයන්න වෙන කොහෙවත් යන්න ඕනේ නෑ සරත් ෆොන්සේකාගේ අල්මාරියේ තියෙන්නේ කියන කාරණය තමයි මම කියන්නේ.” යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.