රාජ්‍ය සේවයේ නිලධාරීන් සඳහා තීරු බදු රහිත වාහන ආනයනය කිරීමේදී පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමට ,රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය ජේ. ජේ. රත්නසිරි මහතා විසින් චක්‍රලේඛ අංක 22/99 (xxxv) යටතේ නව චක්‍රලේඛය නිකුත් කර ඇත.
චක්‍රලේඛය පහතින්..
“රාජ්‍ය නිලධාරීන් / පළාත් රාජ්‍ය නිලධාරීන්/අධිකරණ නිලධාරීන් සඳහා ප්‍රවාහන පහසුකම් මැයෙන් 2016/05/24 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 22/99 (XXXII) මඟින් රාජ්‍ය නිලධාරීන්ට ඛාණ්ඩ 3 ක් යටතේ වාහන ආනයනය කිරීම සඳහා සහන ලබා දී තිබුණි.
ඒ යටතේ පළමු ඛාණ්ඩය සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 45,000 ක උපරිමයකට යටත්ව මෝටර් රථයක් ආනයනය කිරීමට ඉඩකඩ හිමිව තිබුණි.
එමෙන්ම දෙවැනි ඛාණ්ඩය යටතේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 40,000 උපරිමයට යටත්වත් 3 වැනි ඛාණ්ඩය යටතේ ඇමෙරිකන් එක්සත් ජනපද ඩොලර් 35,000 උපරිමයට යටත්වත් වාහන ආනයනය කිරීමට ඉඩ ලබාදී තිබුණි.
එහෙත් පසුගිය 2018 අයවැය යෝජනා ඉදිරිපත් කිරීමේදී මෙම වාහන ආනයන පහසුකම සංශෝධනයකට ලක්කරන ලදී.
ඒ යටතේ පළමු ඛාණ්ඩයට මෙතෙක් හිමිව තිබූ ඩොලර් 45,000 සීමාව වෙනුවට ගෙවිය යුතු බද්දෙන් රු. මිලියන 9 ක් අඩුකළ පසු වටිනාකම ලබාදෙන ලදී.
එමෙන්ම දෙවැනි ඛාණ්ඩයට හිමිවූ ඩොලර් 40,000 සහනය වෙනුවට ගෙවිය යුතු බද්දෙන් රු.මිලියන 7.5 ක් අඩුකළ පසු වටිනාකම යෝජනා කරන ලදී.
තුන්වැනි ඛාණ්ඩයට එතෙක් හිමිවූ ඩොලර් 35,000 සහනය වෙනුවට 2018 අයවැය යෝජනාවෙන් යෝජනා වී තිබුණේ රු. මිලියන 6 ක් අඩුකළ පසු වටිනාකමයි.
මෙම අයවැය යෝජනා සම්බන්ධයෙන් පසුගිය කාලයේ රාජ්‍ය නිලධාරීන් අවස්ථා ගණනාවකදී රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයාට සිය අකමැත්ත පළකරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ අයවැය යෝජනාවන්වලට මහා භාණ්ඩාගාරයේ එකඟතාව මත සංශෝධන ගෙන ඒමට රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතාගේ අත්සනින් 2018.02.20 දින චක්‍රලේඛ අංක 22/99 (XXXV) යටතේ නිකුත් කොට ඇත.
ඒ අනුව පළමු ඛාණ්ඩයේ නිලධාරීන් සඳහා යෝජනා වූ රු.මිලියන 9 වෙනුවට ගෙවිය යුතු බද්දෙන් රු.මිලියන 22 ක් අඩු කිරීමෙන් පසු වටිනාකම ලෙස සංශෝධනය කොට ඇත.
දෙවැනි ඛාණ්ඩයේ නිලධාරීන්ට අයවැයෙන් යෝජනා වූයේ රු. මිලියන 7.5 ක් අඩුකළ පසු වටිනාකමයි. මෙම නව චක්‍රලේඛය මඟින් එම සහනය රු. මිලියන 16 දක්වා ඉහළ දමා ඇත.
එසේම තුන්වැනි ඛාණ්ඩයට යෝජනා වූ රු.මිලියන 6 ක සහනය වෙනුවට මෙම නව චක්‍රලේඛය රු. මිලියන 12 ක සහනයක් ලබා දී ඇත.