FAST NEWS

24×7 Around the Globe

දෙවෙනි මහ බැංකු මංකොල්ලයට ජනපති සම්බන්ධ වු හැටි නාමල් හෙළි කරයි..

දෙවෙනි මහ බැංකු මංකොල්ලය නවත්තන්න තිබුණු බවත්, නමුත් ජනාධිපතිවරයා ආණ්ඩුව විසිරෙව් බැවින් මෙයට ජනාධිපතිවරයාද සම්බන්ධ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ 17 සවස අම්බලන්තොට ලුනමදී පැවැති ජනහමුවකට සහභාගි වෙමින් ප්‍රකාශ කර තිබේ.

එහිදී මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කර තිබේ.

” අද මහා ගැටලු ගම්වල තියෙනවා. ඒ කිසිම ගැටලුවකට ආණ්ඩුවේ සෘජු හෝ වක්‍ර මැදිහත්වීමක් නෑ. අගමැති කරන එක ජනාධිපති දන්නෙ නෑ. ජනාධිපති කරන එක අගමැති දන්නෙ නෑ. කැබිනට් එකේ මුදල් ඇමතිවරයා කරන දේ ජනාධිපතිවරයා දැන ගන්නෙ දවස් හතරකට පහකට පස්සේ රේඩියෝ එකෙන් අහලා. දැන් උදේ පත්තරේ බලන්නෙත් නෑ. ලෝකෙන් බාගයක් දැනගත්තා ලංකාවෙ බාර් අරින වෙලාව වෙනස් කරලා, කාන්තාවට අරක්කු ගන්න තියෙන නීතිය වෙනස් කෙරුවා කියලා. අපේ රටේ ජනාධිපති දන්නෙ දවස් 04 කට පස්සෙ රේඩියෝ එකෙන් අහලා. ලෝක සේවාවල ජාත්‍යන්තර ප්‍රවෘත්තියක් විදියට නාළිකාවල ගියා. ලංකාවෙ හැම පත්තරේම ගියා. මාධ්‍ය සාකච්ඡා තිබ්බා. ජනාධිපතිවරයා ඒවා නොදක සිටීම කණගාටුවට කරුණක්.

එස්. බී. දිසානායක ඇමතිතුමා කියනවා යහපාලන ආණ්ඩුවෙ, මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ ආණ්ඩුවෙන් තමයි මහ බැංකුව හොරකම් කළේ කියලා. ඒ කතාවට අනුව මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් වගකියන්න ඕන. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට මහ බැංකු කොල්ලයෙන් ඈත් වෙන්න බෑ. ජනාධිපතිතුමාට පුළුවන් නම් බාර් අරින වෙලාව පත්තරෙන් දැනගෙන වෙනස් කරන්න. මහ බැංකු මංකොල්ලය පත්තරෙන් දැනගෙන නවත්තන්න තිබුණෙ නැද්ද. දෙවෙනි මංකොල්ලය නවත්තන්න තිබුණා. හැබැයි ජනාධිපතිතුමා ආණ්ඩුව විසිරෙව්වා. ඒ නිසා මේකට ජනාධිපතිතුමත් සම්බන්ධයි. ”