FAST NEWS

24×7 Around the Globe

ගායක රජිව් සෙබස්තියන්ව අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්..

සංගීත ප‍්‍රසංගයක් පැවැත්වීමට රුපියල් ලක්ෂ 03 ක අත්තිකාරමක් ලබාගෙන එම ප‍්‍රසංගය නොපවත්වා මුදල් වංචාවක් සිදුකළ බවට ජනප‍්‍රිය ගායක රජිව් සෙබස්තියන්ට එරෙහිව වෙන්නප්පුව පොලිසිය අධිකරණයට දැක්වූ කරුණු සැලකිල්ලට ගත් මාරවිල මහේස්ත‍්‍රාත් අධිකරණය රජිව් සෙබස්තියන් වහාම අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන ලෙස තලංගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කර තිබේ.

වෙන්නප්පුව හෝටල් පරීශ‍්‍රයකදී 2017 අගෝස්තු 04 වැනිදා ”සරඹ” නමින් සංගීත ප‍්‍රසංගයක් පැවැත්වීම සඳහා ප‍්‍රවීණ ගායන ශිල්පීන් වන සුනිල් පෙරේරා, ඇනස්ලි මාලේවන හා ඩෙස්මන් සිල්වා සහභාගි කරවන බවට පෙරොන්දු වී රුපියල් ලක්‍ෂ තුනක අත්තිකාරම් මුදලක් ලබාගෙන සංගීත ප‍්‍රසංගය පැවැත්වීම පැහැර හැරිය බවට එම ප‍්‍රසංගයේ සංවිධායකවරයෙකු වන වෙන්නප්පුව දුම්මලදෙණියේ එච්.ඞී. ටර්සියන් ක‍්‍රිස්ටි රත්නප‍්‍රිය මහතා වෙන්නප්පුව පොලිසියට පැමිණිලි කර තිබේ.

මෙම මුදල ආපසු ගෙවීම සඳහා රජිව් සෙබස්තියන් පැමිණිලිකරුට රුපියල් ලක්ෂ තුනක චෙක්පතක් ලබා දුන් නමුත් එම චෙක්පත අගරුවී ඇති බවද පැමිණිල්ලේ සඳහන් වී ඇති බව පැවසේ.

මේ අනුව මුදල් වංචාව, සාපරාධී විශ්වාසය කඩ කිරීම, සාපරාධී සාවද්‍ය මුදල් පරිහරණය ඇතුළු චෝදනා කීපයක් යටතේ ණය අයකිරීමේ පනතේ 25 x 1 වගන්තිය යටතේ මොහුට එරෙහිව අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව වෙන්නප්පුව පොලිසිය කියයි.