FAST NEWS

24×7 Around the Globe

අහිතකර තෙල් රහිත අයිස්‌ක්‍රීම් වර්ගයක්‌ නිපදවයි..

ලොව පුරා බාල, තරුණ, මහලු කොයි කා අතරත් ජනප්‍රිය ආහාරයක්‌ වන අයිස්‌ක්‍රීම් හෘද රෝග, ආඝාතය හා රුධිරගත කොලෙස්‌ටරෝල් මට්‌ටම ඉහළ නැංවීමට හේතුවන සංතෘප්ත මේදය (සැටුරේටඩ් ෆැට්‌‌) අධිකව අඩංගු ආහාරයක්‌ බව බොහෝ දෙනා දන්නා කරුණකි‌.

අයිස්‌ක්‍රීම්වල අඩංගු සීනිවලට වඩා ශරීර සෞඛ්‍යයට වැඩි බලපෑමක්‌ එල්ල වනුයේ මෙම අධික සංතෘප්ත මේදය හරහා බව වෛද්‍ය මතයයි.

මෙම තත්ත්වයට පිළියම් වශයෙන් සංතෘප්ත මේදය රහිතව අයිස්‌ක්‍රීම් නිපදවීමේ ක්‍රමයක්‌ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥවරියක වන මෙරෙට්‌ බෙගෙලන්ඩ් මන්ක්‌ විසින් අලුතින්ම සොයාගෙන ඇති බව පසුගියදා නිවේදනය කෙරිණි.

අයිස්‌ක්‍රීම්වල අඩංගු සංතෘප්ත එළවළු මේදය ඝන ස්‌වරූපයෙන් පවතින අතර මෙරෙට්‌ විසින් සකස්‌ කර ඇති අයිස්‌ක්‍රීම් නිපදවීමේ ක්‍රමය යටතේ අයිස්‌ක්‍රීම් නිපදවනුයේ අසංතෘප්ත මේදය සහිත (අන්සැටුරේටඩ් ෆැට්‌‌) දියරමය තත්ත්වයේ පවතින තෙල් බිංදු යොදා ගනිමිනි.

කෙසේ වුවත් අයිස්‌ක්‍රීම් ස්‌ථාවරව තබාගැනීම සඳහා පද්ධතියක්‌ තනා ගැනීම වැදගත් නිසාම නව ක්‍රමයට අයිස්‌ක්‍රීම් නිපදවීම සඳහා යොදා ගනු ලබන දියරමය තෙල් ඝන මේදය බවට පත්කර ගැනීම අවශ්‍ය යයි මෙරෙට්‌ පවසන්නීය.

මෙම නව අයිස්‌ක්‍රීම් නිපදවීමේ ක්‍රමය හරහා ශරීර සෞඛ්‍යයට මෙන්ම පරිසරයටද වාසි අත්වන බව ඇය සඳහන් කරන්නීය.

මෙහිදී නව ක්‍රමයට අනුව අයිස්‌ක්‍රීම් නිපදවීමේදී භාවිත කරන තෙල් වර්ගය තෝරා ගැනීමේදී දේශීය වශයෙන් නිපදවනු ලබන තමන් සිටින ප්‍රදේශයට ආසන්නයේ පවතින තෙල් වර්ගයක්‌ තෝරා ගැනීමට අයිස්‌ක්‍රීම් නිෂ්පාදකයින් පියවර ගත යුතු බව මෙරෙට්‌ සඳහන් කර සිටින්නීය.