FAST NEWS

24×7 Around the Globe

විදේශිකයන්ට විකුනන තේ කොළ ටින් ඇතුලේ කෘමීන්..

ගාල්ල කොටුව පෙඩ්ලර් වීදියේ තේ කොළ වෙළෙඳසලක විදේශිකයන්ට විකිණීම සඳහා අලෙවියට තබා තිබූ කෘමීන් සහිත තේ කොළ ටින් ඇසුරුම් දහ හතක් ගාල්ල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකයන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වෙළෙඳසලේ තේ කොළ විදේශිකයන් පමණක් ඉලක්ක කර අලෙවි කර ඇති බව අනාවරණය වී තිබේ.

පසුගියදා මෙරටට පැමිණි විදේශිකයකු මෙම වෙළෙඳසලෙන් තේ ඇසුරුමක් මිලදී ගෙන තම රටට ගිය පසු එම තේ ඇසුරුම විවෘත කර තිබෙන විට එහි කුඩා කෘමීන් කිහිපදෙනකු සිටිනු දැක ශ්‍රී ලංකාවේදී එම විදේශිකයා මෙරට සංචාරය සඳහා රැගෙන ගිය ප්‍රවාහන නියෝජිත සමාගමට දන්වා ඇත.

ඊට පසු එම ප්‍රවාහන නියෝජිත සමාගම විසින් මෙම තොරතුරු ගාල්ල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකයන් වෙත දැනුම් දී ඇති අතර ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකයන් විසින් මෙම වෙළඳසල වටලා තිබේ.

එහි විදේශිකයන්ට අලෙවි කිරීමට තබා තිබූ තේ කොළ ටින් ඇසුරුම් දෙකක් පරීක්ෂා කොට එම ඇසුරුම් දෙකේම කුඩා කෘමීන් කිහිපදෙනකු සිටි නිසා එහි අලෙවියට තිබූ තේ කොළ ටින් ඇසුරුම් දහ හතක් අත්අඩංගුවට ගෙන තිබේ.

මිලිග්‍රෑම් සියයේ මෙම එක් තේ කොළ ටින් ඇසුරුමක් රුපියල් එක් දහස් පන්සියය බැගින් විදේශිකයන්ට විකුණා ඇති බවද හෙළිවී ඇත.

මෙම කෘමීන් සහිත තේ කොළ කලක සිටම අපනයනය කරන්නට ඇතැයි මහජන පරීක්ෂකවරු සැක කරන අතර අත්අඩංගුවට ගනු ලැබූ මෙම තේ කොළ අලෙවිසල් අයිතිකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ගාල්ල නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි ශ්‍රියානි ජයසූරිය මහත්මියගේ උපදෙස් පරිදි ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක අමිත් මුණසිංහ මහතාගේ මෙහෙයවීම මත පුලින රණසිංහ සහ තරිදු අකලංක කීර්තිසේන යන මහත්වරුන් විසින් මෙම වැටලීම කර තිබේ.