FAST NEWS

24×7 Around the Globe

ETI සහ ස්‌වර්ණමහල් මූල්‍ය ආයතනවල කළමනාකරණ ආයතන වලට මහ බැංකුව අත තබයි..

අසතුටුදායක මූල්‍ය කාර්ය සාධනය නිසා ETI සහ ස්‌වර්ණමහල් මූල්‍ය ආයතනවල කළමනාකරණ කටයුතු සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ත්‍රිපුද්ගල කළමනාකරණ මණ්‌ඩලයක්‌ පත්කළ බව මහ බැංකුව අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

මෙම ක්‍රියා මාර්ගය ගනු ලැබුවේ එම මූල්‍ය ආයතන දෙකේ තැන්පත්කරුවන්ගේ හිමිකම් සුරක්‍ෂිත කිරීමට බවද හෙතෙම පැවසීය.

ETI මූල්‍ය සමාගමේ තැන්පත්කරුවන් තිස්‌තුන් දහසකට අයත් රුපියල් බිලියන 33 ක තැන්පතුද ස්‌වර්ණ මහල් මූල්‍ය ආයතනයේ තැන්පත්කරුවන් 2300 කගේ රුපියල් බිලියන 2.4 තැන්පත් ඇතැයිද අධිපතිවරයා පෙන්වා දෙයි.

එසේම මෙම ආයතන දෙකේ එදිනෙදා කටයුතු කරගෙන යැම සඳහා කල් පිරුණු තැන්පතුවලට මුදල් ගෙවීම මාස 06 කට අත්හිටුවා ඇතැයි පවසන කුමාරස්‌වාමි මහතා ඒ සඳහා නොකඩවා පොලී මුදල් ගෙවන බවද ප්‍රකාශ කළේය.

එමෙන්ම මෙම ආයතන දෙක මගින් ණය මුදල් ගෙවීමද තාවකාලිකව නතර කරන බවද හෙතෙම කීවේය.

ත්‍රිපුද්ගල කළමනාකරණ මණ්‌ඩලයට අමතරව මෙම ආයතන දෙකේ එදිනෙදා කටයුතු අධීක්‍ෂණය සඳහා මහ බැංකුව විසින් නිලධාරීන් 06 දෙනකු පත්කර ඇතැයි කී ඒ මහතා ඉදිරි මාස 06 තුළ මෙම ආයතන දෙක තුළ වෙනස්‌කම් කළ හැකි යෑයි සිතන බවද කීවේය.

කෙසේ වෙතත් මේ ආයතන 2 ක මිලදී ගැනීම සඳහා අදාළ සමාගම විසින් ආයෝජකයකු සමග සාකච්ඡා පවත්වමින් සිටින බව කී ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතා ආයතන දෙකේ වත්කම් සඳහා ඩොලර් මිලියන 75 ක්‌ ලබාදෙන බව එම ආයෝජකයා ප්‍රකාශ කර ඇති බව ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

DE සිල්වා