FAST NEWS

24×7 Around the Globe

හෙදියන් 40 දෙනකු නීති විරෝධී අයුරින් මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට අනුයුක්‌ත කරලා..

සෞඛ්‍ය ඇමැතිවරයා සහ සයිටම් ආයතනය වෙනුවෙන් පෙනී සිටින පිරිස්‌ විසින් රජයේ හෙද විදුහල්වලින් පුහුණුව ලැබූ හෙදියන් 40 දෙනකු නීති විරෝධී අයුරින් මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට අනුයුක්‌ත කර ඇතැයි සමස්‌ත ලංකා හෙද සංගමය කියයි.

හෙද පත්වීම් ලබාදීමට පෙර හෙද සිසුන්ට තමන්ට සේවය කිරීමට මනාප රෝහල් නම් කිරීමට ලබා දෙන රෝහල් නාම ලේඛනය තුළ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නම ඇතුළත් වී නොතිබියදී හෙදියන් මනාපය පළ නොකළ සේවා ස්‌ථානයකට වංචනික ලෙස මෙසේ හෙදියන් අනුයුක්‌ත කිරීම බලවත් වරදක්‌ බව හෙද සංගමය පෙන්වා දෙයි.

මෙම හෙදියන් හදිසි සේවා අවශ්‍යතා ලෙස සලකා තාවකාලිකව අනුයුක්‌ත කර ඇති අතර ඔවුනට ජයවර්ධනපුර ශික්‌ෂණ රෝහලේ හෙදියන්ට මෙන් සියලු පහසුකම් හා දීමනා ලබා දෙන ලෙස පැවසුවද මේ දක්‌වා දෙසැම්බර් මස වැටුප හෝ ලබා දී නොමැති බවත් පැවසේ.

මෙසේ නීති විරෝධීව පත් කර ඇති හෙද පිරිස නෙවිල් ප්‍රනාන්දු රෝහලින් ඉවත් කර ඔවුන් ඉල්ලා සිටින රජයේ රෝහල්වලට අනුයුක්‌ත කරන ලෙස එම සංගමය ඉල්ලා සිටී.