එක්සත් ජනපදයේ විශේෂ ප්‍රතිලාභ සහිත වෙළෙඳ වරණය පිළිබඳ පොදු ක්‍රමය (GSP) 2017 දෙසැම්බර් 31දායින් අවසන් වන බව කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර සිටියි.
ඉදිරි වර්ෂය සඳහා කටයුතු කල් තැබීමට පෙර එක්සත් ජනපද කොංග්‍රසය මෙම GSP වැඩසටහන නැවත බලාත්මක නොකළ බවත් එම නිවේදනයෙහි සඳහන් වන අතර ,අදාළ සහනය දීර්ඝ නොකිරීමට හේතුවක් එහි සඳහන්ව නොමැත.
මෙම GSP වැඩසටහන අවසන්වීමේ ක්ෂණික බලපෑම එල්ල වන්නේ ශ්‍රී ලංකාව හා මෙම වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලැබූ අනෙකුත් රටවලින් එක්සත් ජනපදයට ආනයනය කෙරෙන භාණ්ඩ 2018 ජනවාරි 01දා සිට වරණීය නොවන තීරුබදුවලට යටත් වීමය.
ශ්‍රී ලංකාවේ ඉහළම අපනයන වෙළෙඳ පොළ ලෙස කටයුතු කිරීමට ලැබීම ගැන එක්සත් ජනපදය ආඩම්බර වන බවත්, ගෝලීය වාණිජ සිතියමට අනුව 2016 වසරේදී එක්සත් ජනපදය ඇ.ඩො.බිලියන 2.8ක ශ්‍රී ලාංකේය භාණ්ඩ ආනයනය කර ඇති බවත් එම නිවේදනයෙන් සඳහන් වෙයි.
කෙසේ වෙතත්, පසුගියදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත ජෙරුසලම සම්බන්ධයෙන් එක්සත් ජනපදය ගෙනා යෝජනාවට ශ්‍රී ලංකාවද ඇතුළුව රටවල් 128 ක් විරුද්ධව ඡන්දය භාවිත කළ අතර, මෙම ඡන්ද විමසීමට පෙර ඇමෙරිකානු ජනපතිවරයා පවසා තිබුණේ මීට සහයෝගය ලබා නොදෙන රටවලට සිදුකෙරෙන ඇමෙරිකානු ආධාර කපා හැරෙනු ඇති බවය.
DE සිල්වා