FAST NEWS

24×7 Around the Globe

සාමාජිකයන් 09 ක දුත පිරිසක් 25 වැනිදා රුසියාවට

රුසියන් රජයෙන් තාවකාලිකව මෙරටට පනවා තිබෙන තේ ආනයනය කිරීමේ තහනම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සාමාජිකයන් 09 දෙනකුගෙන් සමන්විත මෙරට දූත පිරිස සඳුදා (25) රුසියාව බලා පිටත්ව යෑමට නියමිතය.

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති රොහාන් පෙතියාගොඩ, කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ආර්.ආර්.ඒ. විජේකෝන්, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඩබ්ලිව්.ටී.ඩී. වික්‍රමසිංහ, තේ මණ්ඩල අධ්‍යක්ෂ ප්‍රමිලා ශ්‍රීකාන්ති, තේ මණ්ඩල අධ්‍යක්ෂ ආචාර්ය නිශාන්ත ජයතිලක, තේ පර්යේෂණ මණ්ඩලයේ ප්‍රධාන පර්යේෂණ නිලධාරි ආචාර්ය කීර්ති මාපා මොහොට්ටි, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ කොමසාරිස් ඊ.ඒ.ජේ.කේ. එදිරිසිංහ, වරාය අධිකාරියේ ජාතික ශාක නිරෝධායන සේවා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එච්.එල්. චම්පික, නීතිපති දෙපාර්තමේන්තුවේ ජේ‍යෂ්ඨ නියෝජිත සොලිසිටර් ජනරාල් ඩබ්ලිව්.පී.වී. දයාරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත තාක්ෂණ පර්යේෂණ කමිටුවට මෙම දූත පිරිස අයත් වෙති.

රුසියානු රජයේ මෙම තාවකාලික තේ තහනම පිළිබඳව මේ වන විට විවිධ පාර්ශ්ව විවධ මත පළකරමින් සිටින අතර එහිදී බහුතරයකගේම මතය වූයේ 2018 වසරේදී මෙරට ඇස්බැස්ටෝස් භාවිතය තහනම් කිරීමට ගනු ලැබූ තීරණයට විරෝධය පළකරමින් රුසියානු රජය ලංකාවේ තේවලට තහනමක් ඉදිරිපත් කළ බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රුසියන් රජය සමඟ සාකච්ඡා කිරීමට මෙරට දූත පිරිස රුසියාව බලා පිටත්ව යෑමට පෙර පෙරේදා (20) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී 2018 දී මෙරට ඇස්බැස්ටෝස් භාවිත කිරීමේ තහනම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කළේය.