FAST NEWS

24×7 Around the Globe

පොදුජන 06 ක් ශ්‍රීලනිපයේ 02 ක් ඇතුළු නාම යෝජනා 16 ක් ප්‍රතික්ෂේපයි..

පළාත් පාලන මැතිවරණයයේ පළමු අදියර යටතේ ආයතන 93ක් සඳහා නාම යෝජනා භාර ගැනීම ඊයේ (14) මධ්‍යහන 12 න් අවසන් වු අතර, එහිදි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාම යෝජනා පත්‍ර 06 ක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාම යෝජනා පත්‍ර 02 ක්ද ඇතුළුව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර 16ක් ප්‍රතික්ෂේප වී තිබේ.

මහරගම නගර සභාව, වැලිගම නගර සභාව සහ පානදුර නගර සභාව සඳහාත් බදුල්ල, මහියංගණය සහ අගලවත්ත ප්‍රාදේශීය සභා සඳහාත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරිපත් කරනු ලැබූ නාම යෝජනා මෙසේ ප්‍රතික්ෂේප වී ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙහිඅත්තකණ්ඩිය හා පදියතලාව ප්‍රාදේශීය සභා සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රද ප්‍රතික්ෂේප වී තිබේ.

අලයාඩිවෙම්බු සහ සමන්තුරේ ප්‍රාදේශීය සභා සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රද ප්‍රතික්ෂේප විය.ඉලංකෙයි මක්කල් කච්චි පක්ෂය අක්කරෙයිපත්තු ප්‍රාදේශීය සභාව සඳහාද, සමස්ත ලංකා මහා කොංග්‍රසය, අක්කරෙයිපත්තු ප්‍රාදේශීය සභාවටද, එක්සත් ජාතික පෙරමුණ, කින්නියා ප්‍රාදේශීය සභාවටද, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ, අකිල ඉලංකෙයි මහා සභාව සහ අකිල ඉලංකෙයි ද්‍රවිඩ කොංග්‍රසය යන පක්ෂ කඩවත්සතර ප්‍රාදේශීය සභාව සඳහාද, දෙමළ විමුක්ති පෙරමුණ කෝරලේ පත්තුව ප්‍රාදේශීය සභාව සඳහාද ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රද ප්‍රතික්ෂේප වී ඇත.

නියමිත පරිදි කාන්තා අපේක්ෂක නම්, නාම යෝජනා පත්‍රයෙහි ඇතුළත් නොකිරීම, අපේක්ෂකයන්ගේ අස්සන් නිසි පරිදි සඳහන් කර නොතිබීම, පක්ෂ විසින් නම් කර ඇති බලයලත් නියෝජිතයා විසින් නාම යෝජනා පත්‍ර භාර නොදීම, පක්ෂ ලේකම්වරයාගේ අස්සන නොතිබීම, නිසි පරිදි දිවුරුම් ප්‍රකාශවල දින සටහන් නොවීම, ස්ත්‍රී – පුරුෂභාවය නිවැරදිව නාම යෝජනා පත්‍රයෙහි සඳහන් නොකිරීම මෙසේ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීමට හේතු වූ බව අදාළ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීහු  මාධ්පැ‍ය වෙත පැවසූහ.

එක්සත් ජාතික පක්ෂය, පොදු ජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ, එකමුතු ප්‍රගතිශීලී සන්ධානය, නව සිහළ උරුමය, ලංකා කම්කරු කොංග්‍රසය, ලංකා සම සමාජ පක්ෂය, මුස්ලිම් ජාතික සන්ධානය, දෙමළ ජාතික සන්ධානය, තමිල් මක්කල් විඩුදලෙයි පුලිගල් පක්ෂය, ජාතික කොංග්‍රසය, ටෙලෝ සංවිධානය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ලිබරල් පක්ෂය, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ඇතුළු ස්වාධීන කණ්ඩායම් රැසක අපේක්ෂකයෝ ඊයේ නාම යෝජනා භාර දුන්හ.

DE සිල්වා