FAST NEWS

24×7 Around the Globe

සොඛ්‍ය,විදුලිය හා තෙල් වර්ජනයකට සැරසෙයි..

සෞඛ්‍ය, විදුලිබල, සෞඛ්‍ය සේවා, ඛනිජ තෙල් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ප්‍රබල වෘත්තීය සමිති ගණනාවක් තම වෘත්තීය ඉල්ලීම් මුල්කොට දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව රජයට අනතුරු අඟවා තිබේ.

ඉන්ජිනේරුවන්ගේ සහ ඉන්ජිනේරු සහකාරවරුන්ගේ වැටුප් 60% සිට 120% දක්වා නීති විරෝධී ලෙස ඉහළ දමා ගැනීම, මේ නිසා විදුලි බල මණ්ඩලයට රුපියල් කෝටි 225ක අගතියක් සිදුවීම, පසුගිය සැප්තැම්බර් මාසයේ පැවැති ලං.වි.ම. වැඩ වර්ජනයට සහභාගි නොවූවන්ට හොරිකඩ දීමනාවක් ලබාදීම ඇතුළු ගැටළුවලට විසඳුම් ලබා නොදෙන්නේ නම් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව විදුලි සේවක සංගමය රජයට අනතුරු හඟවා තිබේ.

එසේම එම සංගමයට අයත් සේවකයින් මෙ වන වින සිය ගැටළුවලට විසදුම් ඉල්ලා උපවාසයක් අරඹා ඇති අතර,ඊට අදට (14) දින 04 ක්ද ගතව තිබේ.

එමෙන්ම දුම්රිය වෘත්තීය සමිති ඉල්ලා ඇති පරිදි ඔවුන්ට පමණක් වැටුප් වැඩි කළහොත් සෞඛ්‍ය සේවා වෘත්තීන්ට අසාධාරණයක් සිදු වන බවත් එවැනි අසාධාරණයක් සිදු වුවහොත් වැඩ වර්ජනයකට යොමු වීමට සිදුවන බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය පවසා තිබේ.

සයිටම් වෛද්‍ය සිසුන්ට රජයේ වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වීමේ සුදුසුකම් ලිහිල් කිරීම, රජයේ වෛද්‍ය නිලධාරීන්ට රුපියල් 60,000ක ප්‍රවාහන දීමනාවක් ලබාදීම යන කරුණු සම්බන්ධයෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සූදානම් වන බවද වාර්තා වේ.

එසේම රජයේ හෙද හෙදියන්ගේ නොවිසඳී ඇති වෘත්තීය ඉල්ලීම් සම්බන්ධව වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිසීමට සිදුවන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

තවද ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට බදු දීමට එරෙහිව ඛනිජ තෙල් වෘත්තීය සමිති ඒකාබද්ධව සංවිධානය කරන වර්ජන ක්‍රියාමාර්ගයකට යෑම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇතැයිද වාර්තා වේ.

DE සිල්වා