FAST NEWS

24×7 Around the Globe

‘ඊ-ස්කේල්’ අනුමත වුවහොත් විදුලිය අඛණ්ඩ වැඩ වර්ජනයකට යයි..

ලංකා විදුලිබල මණ්ඩලය තුළ පවතින නීති විරෝධී ‘ඊ-ස්කේල්’ වැටුප් තලය සඳහා අද (12) දිනයේ කැබිනට් අනුමැතිය හිමි වුවහොත් ලං.වි.ම. අඛණ්ඩ වැඩ වර්ජනයක් සඳහා කටයුතු සූදානම් කර ඇතැයි ලං.වි.ම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් සඳහන් කරයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ පිරිසකට නීති විරෝධී ලෙස 60% සිට 120% දක්වා වැටුප් වැඩි කර ගැනීමක් 2014 වර්ෂයේ සිදුවූ බවත් ඒ හේතුවෙන් මේ වන විට ලංකා විදුලිබල මණ්ඩලයට සිදුවූ අගතිය රුපියල් කෝටි 225ක් බවද හෙතෙම පෙන්වා දෙයි.

එසේම මීට විරුද්ධව පසුගිය සැප්තැම්බර් මාසයේ දින 7 1/2ක වැඩ වර්ජන ක්‍රියාමාර්ගයකට ලං.වි.ම. වෘත්තීය සමිති අවතීර්ණ වූ බවත් වැඩ වර්ජනය අවසන් කිරීම සඳහා එකඟ වූ එකඟතා බිඳිමින් එම 12 (1) ගිවිසුම කඩ කරමින් පාලනාධිකාරිය කටයුතු කරන බවද ලේකම්වරයා අවධාරණය කරයි.

මේ වන විට එම වර්ජනයට සහභාගි වූ සියලු සේවකයන්ගේ ප්‍රසාද දීමනා කප්පාදු කර ඇති බවත් සේවකයන් වසරක් තුළදී ඉතිරි කරගත් වෛද්‍ය දීමනා කප්පාදු කර ඇති බවත් ඔහු පවසයි.

ලං.වි.ම. තුළ ස්ථාපිත කරගත් නීති විරෝධී වැටුප් තලයට නිලභාවය නොදෙන ලෙසත්, සේවක ප්‍රසාද දීමනා, වෛද්‍ය දීමනා හා අතිකාල දීමනා කප්පාදුවකින් තොරව ගෙවන ලෙසත් ඉල්ලා ලං.වි.ම. ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ඊයේ (11) දිනයේ අඛණ්ඩ උපවාසයකට ලං.වි.ම. මූලස්ථානය ඉදිරිපිටදී අවතීර්ණ වූ අතර අද (12) රට පුරා සියලු විදුලි වැඩබිම්වල සේවකයන් රාජකාරිවලින් ඉවත් වී වැඩබිම්හි රැඳී සිටින බවත් ඔහු වැඩි දුරටත් පවසයි.

DE සිල්වා