මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන ගම්පොළ විතානගේ සමන්ත කුමාර නොහොත් ‘වෙලේ සුදා’ නමැත්තාගේ දුරකතන ඇමැතුම් විශ්ලේෂණ වාර්තා අනුව ඔහු සමඟ ජනප්‍රිය නිළි උදයන්ති කුලතුංග මෙනෙවිය සම්බන්ධතා පවත්වන බවට අනාවරණය වූ බව රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (27දා) දන්වා සිටියේය.
ඒ අනුව ‘වෙලේ සුදා’ නමැති සැකකරු ජනප්‍රිය නිළි උදයන්ති කුලතුංග මෙනෙවියට මුදල් ලබා දී ඇති බවටද අනාවරණය වී ඇතැයි රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් දන්වා සිටියේය.
වෙලේ සුදා නමැති සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයන ලද මුදල් සංසරණය වී ඇති ආකාරය සම්බන්ධයෙන් රහස් පොලිසිය විශේෂ විමර්ශනයක් පොලිස්පතිවරයාගේ නියෝග පරිදි සිදු කරනු ලබයි.
අදාළ විමර්ශන සිදු කරමින් සිටියදී ජනප්‍රිය නිළි උදයන්ති නිරූපිකා කුලතුංග මෙනෙවියගේ නමින් ලංකා ඔරික්ස් ලීසිං සමාගමේ පවත්වාගෙන ගිය රුපියල් කෝටියක ස්ථාවර තැන්පතුවක් ඇගේ සහෝදරිය වන චමිලා ක්‍රිෂාන්ති නිල්මිණි කුලතුංග නමට පැවැරීමක් සිදු කර ඇති බවට අනාවරණය වී ඇතැයිද රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
මේ පිළිබඳ මූල්‍ය බුද්ධි ඒකකය වෙත වාර්තා කිරීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ නඩු අංක විශේෂ 4/2015 යටතේ චමිලා ක්‍රිෂාන්ති නිල්මිණී කුලතුංග යන අයගේ ගිණුමද, කොළඹ මහාධිකරණයේ නඩු අංක විශේෂ 5/2015 යටතේ උදයන්ති නිරූපිකා කුලතුංග යන අයගේ ගිණුම්ද ක්‍රියා විරහිත කර ඇතැයි රහස් පොලිසිය දන්වා සිටියේය.








