FAST NEWS

24×7 Around the Globe

තිස්සගේ නඩුව කල් දැමේ – විදේශගත වීමට අවසර ලැබෙයි..

පසුගිය ජනාධිපතිවරණ සමයේදි කූඨ ලේඛනයක් ප්‍රසිද්ධියට පත් කිරීම සම්බන්ධයෙන් එ.ජා.ප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව පවරා තිබූ නඩු විභාගය පෙබරවාරි මස 26 වනදා
දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණය අද (04) තීන්දු කළේය.

එසේම ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන සිය දියණියගේ උපාධි ප්‍රදානෝත්සවය සඳහා සහභාගී වීමට ඉඩ දෙන්නැයි අත්තනායක මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා කළ ඉල්ලීම පිළිගත් මහාධිකරණය මේ මස 10 වනදා සිට 30 වනදා දක්වා කාලය තුළ ඒ සඳහා විත්තිකරුට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමටද නියෝග කළේය.

මෙම නඩුවට සාක්ෂි දීම සඳහා අද දින අධිකරණයේ පෙනී සිටින මෙන් ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට අධිකරණය මීට පෙර නියෝග කර තිබු නමුත් ,ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අයවැය විවාදයට සහභාගී වීමට නියමිත බැවින් මෙම නඩු විභාගය වෙනත් දිනයක් නියම කරන මෙන් රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් වසන්ත නවරත්න බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටි අතර එ අනුව 26 දක්වා කල් තැබුණී.

පසුගිය ජනාධිපතිවරණය සමයේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා, එවකට පොදු අපේක්ෂන මෛත්‍රීපාල සිරිසේන සහ දෙමල ජාතික සන්ධානය අතර රහසිගත ගිවිසුමක් පවතින බවට ජනමාධ්‍ය හමුවකදී කූඨ ලේඛනයක් ප්‍රසිද්ධියට පත් කිරීම තුළින් ජාතීන් අතර සුහදතාව කඩ කිරීමට කටයුතු කළේ යැයි තිස්ස අත්තනායක මහතා එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

DE සිල්වා