FAST NEWS

24×7 Around the Globe

සුවිශේෂි සිදුවිමී රැසක් සමඟ අවසන් තරඟයේ ජය සිංහයින්ට.

සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක්‍රිකට් ක්‍රීඩංගණයේ පැවැති ජාත්‍යන්තර එක්දින තරගයකදී පළමු කඩුල්ල වෙනුවෙන් මෙතෙක් වාර්තා වූ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස 164ක් ලබා ගන්නට තිලකරත්න ඩිල්ෂාන් හා කුසල් ජනිත් පෙරේරා යුගළය සමත් වීමෙන් ගොඩනැඟූ සම්බන්ධයත් කුසල් තම 2 වැනි එක්දින ශතකය ලබා ගැනීමට සමත් වීමත් නිසාම ඊයේ පැවැති පස්වැනි හා අවසන් එක් දින තරගයේදී පාකිස්තානය පරදවා ලකුණු 165ක ජයක් වාර්තාකිරීමට ශ්‍රී ලංකා පිල සමත් විය.

මේ අනුව එක් දින තරගාවලිය 3-2ක් ලෙස පරාජය වුවද අවසන් තරගය ජය ගැනීමෙන් කණ්ඩාමට එල්ල වූ චෝදනාවලින් යම් ගැලවීමක් ලැබෙන අතර ශ්‍රී ලංකා පිල කඩුලු 4කට ලබා ගත් ලකුණු 368ට පිළිතුරු ලෙස පාකිස්තානයට ලබා ගතහැකි වූයේ ලකුණු 203ක් පමණි.

කාසියේ වාසිය දිනූ නායක මැතිව්ස්ගේ තීරණයක් අනුව පළමුව පන්දුවට පහර දීමට කුසල් සමඟ පැමිණෙන ඩිල්ෂාන්ට එක් දින ලකුණු දසදහස සම්පූර්ණ කිරීමට තවත් ලකුණු 55ක් අඩුව සිටි අතර ඉනිමේ 23 වැනි පන්දුවාරයේ 3 වැනි පන්දුවේදී එම ඉලක්කය පසු කළ ඩිල්ෂාන් තවත් පන්දුවාර 3ක් ගෙවී යද්දී ලකුණු 63ක් ලබා සිටියදී අහමඩ් ශේෂාඩ්ගේ පන්දු රැකීම ඉදිරියේ දුවද්දී දැවී යාමට හසු විය.

එසේම දුවද්දී දැවීයෑමේ ක්‍රමයටම හසුවී ලකුණු 116ක් ලබා සිටි කුසල්ද දැවී ගිය අතර 34වැනි පන්දුවාරයේ 5 වැනි පන්දුවේදී කුසල් දැවී යන විට මිනිත්තු 215ක් කඩුල්ලේ සිට පන්දු 109කට මුහුණදී හයේ පහර 4ක් හා හතරේ පහර 9ක් එල්ල කොට තිබුණි.
එසේ 2 වැනි කඩුල්ල මුළු ලකුණු 212දී බිඳ වැටෙන විට මෙම තරගයේදී එක් දින ලකුණු 1000 ඉක්මවා සිටි කුසල්, තිරිමාන්න හා එක්ව තැබූ 3 වැනි කඩුල්ලේ සම්බන්ධය ලකුණු 48කට සීමා වූ අතර තිරිමාන්න ලකුණු 30කට දැවීයෑමෙන් පසුව චන්දිමාල්ට එක්වූ මැතිව්ස් 4වැනි කඩුල්ල සඳහා පන්දු 28කදී ලකුණු 35ක සබඳතාවක් තැබූ අතර ඊට ලකුණු 26කින්ම දායක වූ චන්දිමාල් අවසානයේ රහත් අලීගේ පන්දුවක් හමුවේ සාෆ්‍රාස්ට උඩ පන්දුවක් දී ලකුණු 29කට දැවී ගියේය.

ඉන් පසුව මැතිව්ස්ට එකතු වූ තම 5 වැනි එක් දින තරගයට ක්‍රීඩා කළ මිලින්ද සිරිවර්ධන පන්දු 26කින් ලකුණු 52ක් ලබා මංගල අර්ධ ශතකය වාර්තා කරමින් නොදැවී සිටි අතර මැතිව්ස්ද පන්දු 31කින් තම 27 වැනි අර්ධ ශතකය පසුකොට නෙදැවී 70 ක්ලබා සිටියේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 114ක නොබිඳුණු සබඳතාවක්ද තබමිනි.
මැතිව්ස් හා මිලින්දගේ වේගවත් ප්‍රහාරය නිසාම අවසන් පන්දුවාර 10දී ශ්‍රී ලංකාවට ලකුණු 119ක් එකතුවූ අතර ඊයේ ලංකාව කඩුලු 4කට ලබා ගත් ලකුණු 368 ශ්‍රී ලංකාව තුළදී ඕනෑම කණ්ඩායමකට එරෙහිව ශ්‍රී ලංකාව වාර්තා කළ ඉහළම දෙවැනි එක් දින ලකුණු සංඛ්‍යාවද වන අතර මෙම ක්‍රීඩාංගණයේදී ඕනෑම කණ්ඩායමක් ලැබූ ඉහළම එක් දින ලකුණු සංඛ්‍යවද වෙයි.

එසේම එක් දින තරග ඉතිහාසයේ හඹා ගොස් තරගයක් ජයගැනීමට පාකිස්තානයට ලැබුණ ඉහළම ඉලක්කය මෙයවන අතර ඊයේ දෙවනුව ඔවුන්ගේ ඉනිමේ ඉහළම ලකුණු සබඳතාව වන 51ක් ගොඩනැඟුවේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු රැස්කළ නායක අසාර් අලි හා අහමඩ් ශේෂාඩ් පමණි.

පාකිස්තාන් පන්දු යවන්නන් අතර තරගාවලිය පුරා දක්ෂතා දැක්වූ යසීර් ෂා ඊයේ තරගයේදී කිසිදු කඩුල්ලක් නොලබා දැඩි ප්‍රහාරයකට ලක්වීම ඔවුන්ගේ පසුබෑමට හේතුවූ අතර ශ්‍රී ලංකා පිලේ පන්දු යැවීම හා පන්දුරැකීම පෙර තරග 4ට සාපේක්‍ෂව ඉහළ මට්ටමක පැවැතීම ජයග්‍රහණයට එක් හේතුවක් විය.

ආබාධිත තත්ත්වයක් හැර පළමු වරට ලසිත් මාලිංග කණ්ඩායමෙන් ඉවත්කර තිබීමද සාධාරණ මෙන්ම කැපී පෙනෙන තීරණයක්ද වූ අතර කෙසේ වෙතත් තරගයේ වීරයා සම්මානය ලැබුවේ මොහොමඩ් හෆීස්ය.

සාරාංශය
ශ්‍රී ලංකාව ( පන්දුවාර 50කදී කඩුලු 4කට ) ලකුණු 368
කුසල් ජනිත් 116, තිලකරත්න ඩිල්ෂාන් 62, ඇන්ජිලෝ මැතිව්ස් නොදැවී 70, මිලින්ද සිරිවර්ධන නොදැවී 52, රහත් අලි 10-0-74-2 යසීර් ෂා 8-0-73-0
පාකිස්තානය ( පන්දුවාර 37.2කදී සියලු දෙනා දැවී ) ලකුණු 203
අසාර් අලි 35, මොහොමඩ් හෆීස් 37, සාෆ්‍රාස් අහමඩ් 27, මොහොමඩ් රිස්වාන් 29, සචිත්‍ර සේනානායක 8-1-39-3, තිසර පෙරේරා 8-0-38-2, ඇන්ජිලෝ මැතිව්ස් 3-0-9-1, ළහිරු ගමගේ 10-0-62-1