FAST NEWS

24×7 Around the Globe

සියල්ල හිමි වෙලත් ජීවිතය ගැන කලකිරෙනා පුද්ගලයින්ට මෙන්න ආදර්ශය..

අත් පා සතරම නොමැතිව ජීවිතය ජයගත් වෘත්තීය ඡායාරූප ශිල්පියකු පිළිබඳව වාර්තා වෙයි.

උපතින්ම අත් දෙක හා පාද දෙක අහිමිව අන්ත දුප්පත් පවුලක උපත ලැබූ 25 වැනි වියෙහි පසුවන ඉන්දුනිසියාවේ අච්මාඩ් සුල්කානයින් (Achmad Zulkarnain) උපත ලැබූ විට මව විසින් මොහුව පොලිතීනයක ඔතා විසිකිරීමට සැරසුණත් අසල්වාසීන්ගේ මැදිහත් වීමෙන් එය නවතියි.

ඒ නිසාම ජීවත්වීමේ වාසනාව හිමිවුණු අච්මාඩ් වර්තමානයේ නීතිඥවරයකු වීමට ඉගෙන ගනිමින් සිටින බවත් පවුලේ ආර්ථික අමාරුකම් නිසා තම පවුලේ අදායම් තත්ත්වය වැඩි කිරීමට පියාගේ යතුරුපැදි අලුත්වැඩියා කරන ස්ථානයේ සේවය කරන බවත් ගම්වැසියන් සඳහා හැඳුනුම්පත් නිකුත් කරන ස්ථානයක ඡායාරූප ගැනීමේ නිරත වී තිබෙන බවත් සදහන්ය.

එවිට ඡායාරූප ශිල්පය සඳහා ඔහුගේ හිත ගොස් තිබෙන අතර පියාගේ වැඩ කටයුතු වලට සවියක් වීමට ඔහුගේ මව විසින් කුඩා කැමරාවක් ඔහු වෙත තෑගි කර තිබේ.

එයින් නොනැවතුනු මෙම තරුණයා කොටස් වශයෙන් ගෙවීමට DSLR කැමරාවක් මිලදී ගෙන අන්තර්ජාලය ඔස්සේ ඡායාරූප ශිල්පය ගැන ඉගෙන ගෙන ඇති අතර ඉන්පසුව නගරයේ තිබෙන විවිධ උත්සව අවස්ථාවන් වෙත ගොස් ඒවා ඡායාරූපයට නැඟීමට පටන් ගෙන තිබේ.

මීට අමතරව තනිවම කඳු තරණය කරමින් ස්වාභාවික චමත්කාරය තම කැමරාවට හසු කර ගැනීමට තරම් දැඩි අධිෂ්ඨානයක් තිබූ අච්මාඩ්, දිය ඇල්ලක් ඡායාරූපයට නගන්නට ගොස් කන්දකින් පවා පහළට වැටී තිබෙන බව සදහන්ය.

කුඩා කාලයේදී පාසලේ ළමයින්ගෙන් අනේකවිධ හිරිහැර හා සමච්චලයට ලක්ව තිබෙන සුල්කානයින් එක් අවස්ථාවක පිහියකින් ඇනගෙන ජීවිතය නැති කර ගැනීමට පවා උත්සාහ කර තිබෙන බවත් එහෙත් පිහිය ඔහු අසලට පැමිණෙන විට තම ජීවිතයේ අගය නැවත වැටහී පිහිය බිම දමා තිබෙන්නේ කෙසේ හෝ ජීවත් වීමේ අදිටන ඇතිව බවත් පැවසේ.

මොහු අද සිටින ස්ථානයට ඔහුට පැමිණීමට උදව් කර තිබෙන්නේ ඔහුගේ මව වන අතර සාමාන්‍ය පුද්ගලයකුට කළ හැකි සියල්ලක්ම තමාටත් කළ හැකි බව පවසමින් සෑම විටම ඔහුගේ ජීවිතය ශක්තිමත් කර තිබෙන්නේද ඔහුගේ මවය.

පියයුරු පිළිකාවක් නිසා මීට වසර දෙකකට පෙර ඇය ජීවිතයෙන් සමුගෙන ඇතත් මෙම තරුණයා දිනෙන් දින ඉදිරියට යන්නේ ඇය ලබාදුන් ශක්තියෙන් බවත් Bong Dzoel යන අන්වර්ථ නාමයෙන් ඡායාරූපශිල්පියකු ලෙස මුළු ඉන්දුනීසියාවේම ප්‍රසිද්ධ මොහු ඉගෙනගැනීමේ කටයුතු අතර ඡායාරූප ගැනීමේ නිරත වන බවත් කියැවේ.

ඉතාමත් දක්ෂ ලෙසින් පියානෝ වාදනය කිරීමට හා ස්කේට් බෝඩ් පැදීමට හැකියාව තිබෙන Dzoel ගමන් බිමන් යන්නේ මොහු විසින්ම සැලසුම් කරන ලද කුඩා මෝටර් රථයකිනි.

සියල්ල හිමිවී තිබියදීත් ජීවිතය ගැන කලකිරෙනා පුද්ගලයින්ට ආදර්ශයක් වෙමින් මොහු පවසන්නේ තමන්ට හිමි සුළු දෙයකින් පවා තම ජීවිතය ඉදිරියට ගෙන යාමට උත්සාහ කරන ලෙසයි.