FAST NEWS

24×7 Around the Globe

ශිෂ්‍යත්ව කඩඉම් ලකුණ ඉහල යෑමට වගකිව යුතු පිරිස ගැන බන්දුල කියයි..

මෙවර පහ ශ්‍රේණීය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණ තවත් ඉහල ගොස් තිබු අතර බොහෝ දිස්ත්‍රීක්ක වල එම අගය 164ක් පමණ විය.

විභාගය සමත් වීමට ප්‍රශ්න පත්‍ර දෙකකටම ලකුණු 164ක් ගැනීමට නම් එක ප්‍රශ්න පත්‍රයකට ලබා ගත යුතු අවම ලකුණ 82%ක් පමණ වෙයි.

ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණ අසීමිත ලෙස ඉහල යාම සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු වත්මන් රජය වගකීම භාරගත යුතු බව හිටපු අධ්‍යාපන අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන අවධාරණය කරයි.

ඔහු පවසන්නේ පසුගිය මහින්ද රාජපක්ෂ රජයේදී තමන් අධ්‍යාපන ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටින විට 2015 වර්ෂය සඳහා වන අය-වැය ලේඛනයේදී පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් කරවන දරුවන් ගණන 10,000 සිට 25,000 දක්වා වැඩි කිරීමට තමන් ඇතුලු පසුගිය රජය අයවැයෙන් තීරණය කළ බවයි.

එමෙන්ම ශිෂ්‍යත්ව විභාගය සමත් වන අඩු ආදායම් ලාභී දරුවන්ට මසකට ශිෂ්‍යත්වය සඳහා ලබා දෙන මුදල රුපියල් 500 සිට 1500 දක්වා වැඩි කිරීමට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩයේදීත්, පාර්ලිමේන්තුවේත් පසුගිය රජය සම්මත කළ බව ඔහු පවසයි.

2015 වර්ෂයට අදාළ අය – වැය යෝජනාව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු රජය විසින් ක්‍රියාත්මක නොකිරීම නිසා ශිෂ්‍යත්වයට මුහුණ දුන් දරුවන් මේ වන විට මහත් පීඩනයකට ලක්ව සිටින බව ඔහු පවසයි.

දැනට ලබා දෙන 15,000ක ශිෂ්‍යත්ව ප්‍රමාණය 25,000 දක්වා වැඩි කළේ නම් කඩඉම් ලකුණු ප්‍රමාණය විශාල ලෙස අඩු වන බවත් එහිදී කඩඉම් ලකුණු අඩු වීමෙන් දරුවන් විශාල ප්‍රමාණයකට සහනයක් සැලසෙන බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදි.