FAST NEWS

24×7 Around the Globe

රවීට මාතලෙන් විරෝධයක්..

සංස්කෘතික ත්‍රිකෝණයට අයත් සීගිරිය ව්‍යාපෘතියේ සේවයේ යෙදී සිටි සේවකයින් පිරිසක් ඉවත් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා හදිසියේම මාත‍ලේ ප්‍රදේශයට යෑම සම්බන්ධයෙන් එම දිස්ත්‍රික්කයේ එජාප මැති ඇමැතිවරුන් දැඩි විරෝධයක් එල්ල කර තිබේ.

රවි කරුණානායක මන්ත්‍රීවරයා එම දිස්ත්‍රික්කයේ සිටින මැති ඇමැතිවරුන්ටද නොදන්වා ඊයේ (04) හදිසියේම එම ප්‍රදේශයේ එජාප පාක්ෂිකයන් සම්බන්ධ කර ගනිමින් රැස්වීමක් සංවිධානය කිරීම මීට හේතුව වී තිබේ.

මාත‍ලේ දිස්ත්‍රික් එජාප නායක රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අලුවිහාරේ ඇතුළු මන්ත්‍රී පිරිසට නොදන්වා කරුණානායක මන්ත්‍රීවරයා පැමිණීම නිසා දිස්ත්‍රික්කයේ මැති ඇමැතිවරුන්ගෙන් ඊයේ දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

සීගිරිය ව්‍යාපෘතියේ සේවය කළ එජාප පාක්ෂිකයන් පිරිසක් මෙසේ පසුගියදා අදාළ ව්‍යපෘතියෙන් ඉවත් කර ඇති අතර එම ගැටලුව සමථයකට පත් කිරීම සඳහා කරුණානායක මන්ත්‍රීවරයා කොළඹ සිට එහි ගොස් ඇත.

රවි කරුණානායක මන්ත්‍රීවරයා ඒ බව මාත‍ලේ දිස්ත්‍රික් මැති ඇමැතිවරුන් කිසිවකුත් දැනුවත් නොකිරීමෙන් මෙම ගැටුම නිර්මාණය වී තිබේ.
මේ පිළිබඳව රිවිර කළ විමසීමකදී රංජිත් අලුවිහාරේ මන්ත්‍රීවරයා කීවේ අදාළ ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රවි කරුණානායක මන්ත්‍රීවරයා පැමිණෙන බවක් තමන් හෝ දිස්ත්‍රික් නායක වසන්ත අලුවිහාරේ මහතා නොදන්නා බවය.

එතුමා එනවා කියලා අපි දන්නෙ නෑ. රැස්වීමට ගිය මිනිස්සු කතා කරලා අපෙන් ඇහුවා ඇයි අපි එන්නෙ නැත්තෙ කියලා. එතකොටයි අපි දන්නෙ රවි කරුණානායක මන්ත්‍රීවරයා මෙහෙ ඇවිල්ලා කියලා. මේ වගේ ප්‍රශ්නවලට අපිට කතා කරන්නෙ නෑ. පක්ෂය දිනන්න ඕන වුණාම අපිට කතා කරනවා. දිනාගන්න විතරයි අපිට කතා කරන්නේ. අඩුම තරමේ දිස්ත්‍රික් නායකයාවත් දැනුවත් කරන්න තිබුණා.