FAST NEWS

24×7 Around the Globe

ෆොන්සේකාගේ ඇමැතිකමයි ෆීල්ඩ් මාර්ෂල් නිලයයි අහෝසි වෙයිද?..

ජෙනරාල් ජගත් ජයසූරිය මහතා සම්බන්ධයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇමැතිවරයා කර තිබෙන ප්‍රකාශය ඉතා බරපතළ එකක්‌ වන බැවින් එය සැලකිල්ලට ගෙන ඔහු ඇමැති ධුරයෙන් ඉවත් කර ෆීල්ඩ් මාර්ෂල් ධුරය ද අත්හිටුවා ඔහු දණ්‌ඩනීති සංග්‍රහය යටතේ ප්‍රශ්න කිරීමට භාජන කළයුතු බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්‌කාර මහතා පැවසීය.

දණ්‌ඩනීති සංග්‍රහයේ රාජ්‍ය විරෝධී කටයුතු පිළිබඳ වගන්ති යටතේ සරත් ෆොන්සේකා ඇමැතිවරයාගේ එම ප්‍රකාශය මත ඔහු වහාම ප්‍රශ්න කිරීමට භාජන කළ හැකි බවත් හෙතෙම සඳහන් කළේය.

ෆීල්ඩ් මාර්ෂල් ධුරයක්‌ දරන ආණ්‌ඩුවේ ඇමැතිවරයකු වන පුද්ගලයකුට මෙවැනි ප්‍රකාශයක්‌ කරමින් තවදුරටත් එම ධුරවල රැඳී සිටීමට ඉඩ ලබාදිය හැකිදැයි ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා ඔහු ඇමැති ධුරයෙන් ඉවත් කර ෆීල්ඩ් මාර්ෂල් ධුරය ද අත්හිටුවා ඔහු ප්‍රශ්න කිරීමට භාජන කළ යුතු බවත් කීවේය.

සරත් ෆොන්සේකා ඇමැතිවරයාගේ ප්‍රකාශය අගමැතිවරයා අනුමත කර ඇති බවක්‌ ඔහුගේ නිහැඬියාවෙන් පෙන්නුම් කරන බව ද මන්ත්‍රීවරයා පැවසීය.

මෙය පසුගිය රජය විසින් යුද්ධය මෙහෙයවීමට යොදාගත් නායකත්වය කොටු කිරීමට ගෙන එන සැලැස්‌මක්‌ වන අතර ඩයස්‌පෝරාව සැමදා ඉල්ලා සිටි දෙයක්‌ බවත් පැවසූ වාසුදේව නානායක්‌කාර මහතා මෙමගින් මංගල සමරවීර ඇමැතිවරයා හා ඩයස්‌පෝරාව අතර යම් ගනුදෙනුවක්‌ සිදුවී ඇති බවට සැකයක්‌ ඇතිවන බවත් කීවේය.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක්‌ ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.