FAST NEWS

24×7 Around the Globe

සරත් ෆොන්සේකාගේ ප්‍රකාශයට හමුදාපතිගෙන් පිළිතුරු..

එක්‌ එක්‌ අයගේ පෞද්ගලික අමනාපකම්වලට උත්තරීතර ආරක්‍ෂක හමුදාව සම්බන්ධ කර නොගන්නා ලෙස යුද හමුදාපති මහේෂ් සේනානායක කියා සිටියි.

එක්‌ හමුදා නිලධාරියකුට විරුද්ධව කවුරු හෝ ප්‍රසිද්ධියේ දෝෂාරෝපණ එල්ල කිරීම මුළු මහත් ආරක්‍ෂක හමුදාවටම බලපාන බව පැවසූ යුද හමුදාපතිවරයා පසුගිය යුද සමයේ කිසිම අවස්‌ථාවක ආරක්‍ෂක හමුදාව යුද අපරාධ නොකළ බව ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ යුද හමුදාපතිවරයා මෙසේ ප්‍රකාශ කලේය..

“පසුගිය කාලයේ මාව පයින් ගසා එළවද්දී කිසිම මොහොතක හමුදාවට විරුද්ධව කතා කළේ නැහැ. මා යළි යළිත් ඉල්ලනවා පෞද්ගලික අමනාපකම්වලට යුද්ධ හමුදාව සම්බන්ධ කරගන්න එපා කියලා. ජෙනරාල් ජගත් ජයසූරිය මහතා ඉකුත් සමයේ තානාපති ධුරයක කටයුතු කළා. ඔහුගේ සේවා කාලය අවසන් වෙද්දී යුද අපරාධ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පැමිණිල්ලක්‌ ලැබෙනවා. එතකන් ඔය පැමිණිල්ල ලැබිලා තිබුණේ නැහැ මං දන්නා තරමට. ඔය කාගෙ කාගෙත් ප්‍රශ්නවලට උත්තරීතර හමුදාව සම්බන්ධ කරගන්න එපා.

ජගත් ජයසූරිය මහතා හමුදාපති තනතුරේ සිටියදී මට සිදු වූ අසාධාරණකම්වලට මං ඔහුට දොස්‌ කියන්න ගියේ නැහැ. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා හමුදාව සම්බන්ධ කරගෙන කළ ප්‍රකාශයට හමුදාව අප්‍රසාදය පළ කරනවා. ත්‍රස්‌තවාදීන් සමඟ පැවැති යුද්ධයෙන් හමුදාවේ විසිඅට දහසක්‌ පමණ මියගියා. ඒ වගේ දෙගුණයක්‌ සෙබළුන් තුවාල ලැබුවා. ආබාධිතයන් වුණා. හමුදාව යුද්ධයේදී ජීවිත පරිත්‍යාග කළේ මේවා අහන්නද? උත්තරීතර ආරක්‍ෂක හමුදාව කිසි විටෙක මානව හිමිකම් කඩ කළේ නැහැ. අපි ජනරාල් සරත් ෆොන්සේකා මහතාට සලකන්නේ ඔහු ආරක්‍ෂක හමුදාවට කළ උසස්‌ සේවය නිසයි. නැතිනම් දේශපාලනය නිසා නොවෙයි”

හිටපු යුද හමුදාපති ජෙනරල් ජගත් ජයසූරීය යුද අපරාධ කළ බවත් , ඒ පිළිබදව සාක්ෂී දීමට තමන් සුදානම් බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පසුගිය දින කියා සිටියේය.