FAST NEWS

24×7 Around the Globe

පොදු ප්‍රවාහන වල යන කාන්තාවන්ට සිදුවෙන ලිංගික හිංසන හෙළි වෙයි..

ලංකාවේ පොදු ප්‍රවාහන මාධ්‍යන් තුළ ගමන් කරන කාන්තාවන් ලිංගික හිංසනයට ලක්වීමේ ඉහල ප්‍රවණතාවයක් පවතින බව සමීක්ෂණයකින් අනාවරණය වී ඇති බව ළමා කටයුතු ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර විසින් පසුගියදා ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ පැවති සම්මන්ත්‍රණයකදි කරුණු අනාවරණය කළාය.

ලංකාවේ සියළු පළාත් නියෝජනය වන පරිදි කාන්තාවන් 2500 ක් යොදාගෙන සිදුකළ සමීක්ෂණයකදි හෙළිවී තිබෙන්නේ පොදු ප්‍රවාහන මාධ්‍ය තුළ ගමන් කරන කාන්තාවන්ගෙන් 90% ක් ලිංගික හිංසනයට ලක්ව ඇති බවයි.

ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර සදහන් කළේ එවැනි අවස්ථාවකදී පොලිසියේ සහය ලබාගැනීමට ඔවුන් කටයුතු කර ඇත්තේ 4% ක් වැනි සුළු පිරිසක් බවත් කාන්තාවන් හිංසනයට ලක්වූ අකාර 30 ක් පමණ හදුනාගැනීමට හැකි වී ඇති බවත්ය.

හිංසකයාගේ ලිංගික අවයව වින්දිතයාගේ ශරීරයේ ඇතිල්ලීම, දුරකථන අංකය ඉල්ලීම, සිතා මතා කකුල පෑගීම, කාමුක බැල්ම සහ අසුන් ගැනීමේදී අයෝග්‍ය ලෙස හැසිරීම, ජංගම දුරකථන භාවිතයෙන් කාන්තාවන්ගේ අවයව පටිගත කරගැනීම වැනි ක්‍රියාවන් යනාදි ක්‍රියාකාරකම් ප්‍රමුඛව සිදුවන බව මෙම සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙන බව සදහන් කරන ලදි.

එසේම මෙවැනි ලිංගික හිංසනයන් සදහා වර්ෂ 1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනතේ 345 කොටසට අනුව දැඩි දඩුවම් ලබාදිය හැකි වරදක් වන බැවින් අංක 119 අමතා හෝ පොලිස් හා ළමා කාන්තා කාර්යංශයේ පැය 24 ම විවෘත අංක 0112 44 44 44 යන දුරකතන අංකය අමතා පැමිණිලි කල හැකි වෙයි.