FAST NEWS

24×7 Around the Globe

නොමිලේ අක්‍ෂි කාච දෙන වැඩපිළිවෙළ කඩාකප්පල් කරන අය ගැන රාජිත කියයි..

නොමිලේ අක්‍ෂි කාච ලබාදීමේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට ඇතැම් වෛද්‍යවරුන් උත්සහ කරන බව සෞඛ්‍ය හා පෝෂණ ඇමැති දොස්‌තර රාජිත සේනාරත්න මහතා පැවැසීය.

ඉකුත් 6 වැනිදා පැවැති රාජ්‍ය ඖෂධ නීතිගත සංස්‌ථාවේ අනුරාධපුර නව ශාඛාව විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් අදහස්‌ දැක්‌වූ ඇමැති රාජිත සේනාරත්න මහතා මෙසේද පැවැසීය.

මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න වසර 45 ක්‌ ගත වුණා. එය වැදගත් ප්‍රතිපත්තියක්‌. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්‌ථාව නිර්මාණය කළේ වමේ ආණ්‌ඩුව නෙවෙයි. ධනවාදීන් යෑයි කියා ගන්නා එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවක්‌ යටතේ. ආයුර්වේද ඖෂධ සංස්‌ථාව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්‌ථාව බිහිවුණෙත් එම රජය යටතේමයි.

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කළ ආකාරයට අනෙක්‌ ඖෂධ වල මිලත් ඉදිරියේදී අඩු කරනවා. හෘද සැත්කම් සඳහා භාවිත කරන ස්‌ටේනඩ් මිල පසුගිය සිකුරාදා අඩු කළා. පසුගිය රජය සමයේ කාබාසිනියා කළ ජනතා මුදල් අද ජනතා සේවය සඳහාම යොදවලා තියෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ අසරණ රෝගීන්ට අක්‍ෂි කාච ලබාදීම සඳහා “විෂන් 2020″ නමින් වැඩසටහනක්‌ ක්‍රියාත්මක වුණා. වෛද්‍යවරු මෙන්ම රෝගීන් මට විවිධ චෝදනා එල්ල කළා. ඒ වැඩසටහන මගින් ලබා දෙන්නේ බාල අක්‍ෂි කාච බව. මම අමාත්‍යාංශ නිලධාරීන්ට දැනුම් දුන්නා රෝගීන්ගේ ශරීරයට ඇතුළු කරන උපකරණ සඳහා බාල ඒවා යොදා නොගන්නා ලෙස. බොරු නොකර මානුෂික ප්‍රතිපත්තියක සිට රෝගීන්ට සේවා කටයුතු කළ යුතුයි. ඇතැම් වෛද්‍යවරු මෙම වැඩසටහන කඩාකප්පල් කරන්න හදනවා. වුවමනාවෙන්ම කියනවා අක්‍ෂි කාච නෑ කියලා. ඒ ඔවුන්ට මෙතෙක්‌ ඖෂධ සමාගම්වලින් ලැබුණ ප්‍රතිලාභ අඩුවීම නිසයි.”