FAST NEWS

24×7 Around the Globe

නාමල් විකුණු ලක්ෂ 80ක මෝටර් රථය මුදා හරින්නැයි කළ ඉල්ලීමට පිළිතුරු..

පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්‍ෂ මහතාට එරෙහිව කඩුවෙල අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩුවකට අදාළව නඩු භාණ්ඩයක් වශයෙන් නම්කර ඇති දැනට රහස් පොලිසිය භාරයේ තබා ඇති රුපියල් ලක්‍ෂ 80ක් පමණ වටිනා සුඛෝපභෝගී මෝටර් රථය මුදාහරින ලෙසට එම රථයේ වත්මන් හිමිකාරිය විසින් සිය නීතිඥවරයා මාර්ගයෙන් කඩුවෙල අධිකරණයෙන් ඊයේ (03) කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කළ විනිසුරු ප්‍රසන්න අල්විස් මහතා ඒ සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා වැඩිදුර විභාගය ලබන සැප්තැම්බර් 07 වැනි දිනට කල් තබන ලදී.

උපයා ගත් මුදල් තහවුරු කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ නාමල් රාජපක්‍ෂ මහතාට එරෙහිව ඉකුත් 2016 වසරේ මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් මේ පැමිණිල්ල අධිකරණ ගත කර තිබිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රි වරප්‍රසාද යටතේ නාමල් රාජපක්‍ෂ මහතා විසින් රුපියල් ලක්‍ෂ 80කට ඇමෙරිකාවෙන් ආනයනය කරන ලද බව කියන මැස්ඩා වර්ගයේ මෝටර් රථයක් ඔහු විසින් කැලණියේ පදිංචි ශාන්තා වීරකෝන් යන අයට විකුණා තිබියදී එය නඩු භාණ්ඩයක් වශයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබිණි.

ඉහත කී මෝටර් රථය පසුගිය 2016/09/05 දින නඩු භාණ්ඩයක් වශයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයට පත් කර ඇති නමුත් එය නාමල් රාජපක්‍ෂට අයත් භාණ්ඩයක් නොවන බවට තහවුරු වී ඇති අතර, එම කරුණු සලකා බලා එය වත්මන් හිමිකාරිය වෙත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස නීතිඥ ප්‍රේමනාත් සී. ‍දොලවත්ත අධිකරණය හමුවේ ගොනු කළ ඉල්ලීමෙන් කරුණු දක්වා තිබිණි.

සියලු කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරයා මෝටර් රථය මුදා හැරීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් වැඩිදුර විභාගය ලබන සැප්තැම්බර් 07 දිනට කල් තබන ලදී.