FAST NEWS

24×7 Around the Globe

සිරිසඟබෝ රජු හිස දන් දුන්නා වාගේ ඉල්ලන ඉල්ලන දේවල් දෙන්න බැහැ..

රටක් පාලනය කරනවා නම් බෙල්ල අනුන්ට දෙන එක වැරැදියි. මුළු ලෝකයටම සිරිසඟබෝලා හිටියේ එක්කෙනෙක් පමණයි. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා 31 වැනි දින ගාල්ල හෙද විදුහල් සංකීර්ණයට මුල්ගල් තැබීමේ උත්සවයේදී පැවැසීය.

අමාත්‍යවරයා මෙසේද කීය.

“සිරිසඟබෝ රජතුමා හිස දන් දුන්නා වගේ ඉල්ලන ඉල්ලන දේ දීල හිසත් දන් දෙන්න පුළුවන් කමක් නැහැ. හිස දන් දුන්නාම ඊට පස්සේ රට පාලනය කරන්න කෙනෙක් නැහැ. ඩී. එස්. සේනානායක අගමැතිවරයා ගල්ඔය, මිනිපේ ව්‍යාපාර ආරම්භ කරන විටත් ලංකාවේ ජනතාව විරුද්ධ වුණා. ඒ ව්‍යාපාර නිසා රටට ඇති වුණු සංවර්ධනය බලන්න. අපේ රටේ සංවර්ධනය රට දියුණු කරන්න සියලුම තීන්දුවලට විරුද්ධ වුණා. එදා ජේ. ආර්. බලය බෙදන්න හදන කොට අද සිටින දේශප්‍රේමීන් එයට විරුද්ධ වුණා. මාව මරන්න හැදුවා. මාව මරන්න ආපු දේශප්‍රේමියා අද පළාත් සභාවේ මන්ත්‍රි කෙනෙක්. එදා පළාත් සභා හොඳ නැහැ – අද හොඳයි. දේශප්‍රේමීන් රටට කියන්නේ ඒ අය ළඟ තමයි රිමෝට් කොන්ට්‍රෝල් එක තිබෙන්නේ කියලා. මහින්ද යුද්දෙ ඉවර කළා – මමත් සහාය දුන්නා. ඇත්ත සඳහා අපි සහාය දුන්නා.

1926 ආරම්භ කළ වෛද්‍ය සභාව අදත් ප්‍රමිතියක් නැහැ. ලෝක වෛද්‍ය විද්‍යාව ගැන ලංකාව දැනගෙන හිටියෙත් නැහැ. 2009 දී සයිටම් වෛද්‍ය විද්‍යාලය හදන්න වෛද්‍ය සභාවෙන් ප්‍රමිතියක් දන්වන්න කියල ලිපියක් ඉදිරිපත් කළාම වෛද්‍ය සභාව ප්‍රමිතිය ගැන දන්නේ නැහැ. නමුත් ඔවුන් ප්‍රමිතියක් ගැන කතා කරනවා. වෛද්‍ය විද්‍යාව පෞද්ගලිකකරණය එපා කියනවා. 1942 කන්නන්ගර මහත්තයා නිදහස් අධ්‍යාපනය ගෙනාවේ සල්ලි නැති අයට ඉගෙනගන්න. එතුමා කියලා නැහැ පෞද්ගලික අධ්‍යාපනය එපා කියලා. එදා පල්ලිවල, පන්සල්වල, මේ දෙකම තිබුණා. සල්ලි නැති අයට ඉගෙන ගන්න රට පුරා මධ්‍ය මහා විද්‍යාල පිහිටෙව්වා. අපි නිදහස් අධ්‍යාපනය නැති කරන්නේ නැහැ. ලෝකයේම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තිබෙනවා. අපේ රටේ අයත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල ඉගෙනගෙන ඇවිත් මෙහේ වෛද්‍ය වෘත්තිය කරනවා. ඒ ගැන කතා නොකර 2011 මහින්ද මහත්තයා ආරම්භ කළ සයිටම් අහෝසි කරමු කියනවා.”