FAST NEWS

24×7 Around the Globe

දළදා මාලිගය ඉදිරිපිට පාරේ වාහන ධාවනය කළොත් වෙන දේ මෙන්න..

ශ්‍රී දළදා මාලිගය ඉදිරිපිට පිහිටි ඒ – 26 මාර්ගය නැවත විවෘත කළහොත් බර වාහන ඇතුළු වාහන ධාවනය කිරීමෙන් ශ්‍රී දළදා මාලිගාවේ ගොඩනැඟිලිවලට අහිතකර බලපෑම් ඇති විය හැකි යෑයි මල්වතු හා අස්‌ගිරි පාර්ශව මහනායක හිමිපාණන් වහන්සේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ඊයේ (01) ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලට දැනුම් දුන්නේය.

එම මාර්ගය වසර ගණනාවක්‌ තිස්‌සේ වසා දැමීම නිසා එම මාර්ගයේ ජීවත් වන තමන් ඇතුළු ප්‍රදේශවාසීන්ට දැඩි අපහසුතාවලට මුහුණ දීමට සිදුවී ඇති බවත් එමගින් සිය මූලික අයිතිවාසිකම් කඩවන බවත් පෙන්වා දෙමින් මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවන් සිව්දෙනකු ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවූ අවස්‌ථාවේදී ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා විනිසුරු මඩුල්ලට ඒ බව දැනුම් දුන්නේය.

එම මූලික අයිතිවාසිකම් පෙත්සම ඊවා වනසුන්දර, උපාලි අබේරත්න හා ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී කැඳවූ අතර වැඩිදුර විභාගය ලබන නොවැම්බර් 13 වැනිදා දක්‌වා කල් තැබීමට විනිසුරු මඩුල්ල නියෝග කළේය.