FAST NEWS

24×7 Around the Globe

පොල් ගෙඩියක් හිසේ ගසා දෙපළු කිරීම හාස්කමක්ද..?

ලෙලි ගසන ලද පොල්ගෙඩියක් හිසෙහි ගසා දෙපලු කිරීම වැනි සාමාන්‍ය කෙනෙකුට සිතීමටවත් නොහැකි විස්මිත දේ දේවාරූඬයෙන් කෙරෙන බව පැවසෙන වී‍ඩියෝ දර්ශන අපි අන්තර්ජාලයෙන් කොතෙකුත් දැක ඇත්තෙමු.

ඒ අනුව මේ සම්බන්ධ නවීන විද්‍යාත්මක අර්තකථනයක් ලබා දිය නොහැකි දැයි අපි කොළඹ විශ්ව විද්‍යාලීය වෛද්‍ය පීඨයේ මනෝ වෛද්‍ය විද්‍යා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ මනෝ වෛද්‍ය මහේෂ් රාජසූරිය මහතාගෙන් විමසා සිටියෙමු.

මේ එවිට ඔහු අපට ලබා දුන් පිළිතුරයි..

“ලෙලි ගසන ලද පොල් ගෙඩියක් ය‍මෙකුගේ හිසේ ගැසීමෙන් එය දෙපළු කළ නොහැකි බව සම්මුතියක් වශයෙන් පිළිගන්නා සත්‍යයක්. නමුත් එසේ සම්මුති වශයෙන් කළ නොහැකි බව පිළිගැනෙන ක්‍රියාවන් සිදු කළ හැකි සුවිශේෂ පුද්ගලයන් ද අප අ‍තරේ සිටිනවා. කොණ්ඩයේ ගැට ගසා දුම්රි‍ය එන්ජින් සහ මැදිරි ඇදීම, ශරීරය උඩින් ට්‍රැක්ටර් රථ ධාවනය කිරීම, දත්වල ශක්තියෙන් බර වාහන ඇදීම, එ‍වැනි ක්‍රියා කිහිපයක්. ඒ අනුව කායික මානසික ‍යෝග්‍යතාවයකින් සහ ඒ පිළිබඳ නිපුනත්වයකින් යුතු අයෙකුට පොල්ගෙඩියක් හිසේ ගසා එය දෙපළු කිරීමේ හැකියාවක් තිබිය හැකියි. ඒ අනුව එය සම්මතයෙන් බැහැර දෙයක් මිස අත්භූත වාදී දෙයක් නොවේ.

නමුත් එවැනි ක්‍රියා දේවබලයක් මුල්‍ කොට හෝ යක්ෂ බලයක් මුල්කොට සිදුවන බව පැවසීමෙන් ඒවා අසන දකින ජනතාවගේ සිත් තුළ ඇති වන්නේ එම ‍දේවබලය පිළිබඳ අද්භූත වාදී හැගීමක් මිස එය සිදුකරන්නාගේ දක්ෂතාවයක් පිළිබඳ හැගීමක් නොවේ. සැබැවින්ම එසේ සිදුකළ හැකි තැනැත්තා දක්ෂයෙකු බව අප අවිවාදයෙන් පිළිගත යුතු වෙනවා.

නමුත් එවැනි ක්‍රියා මුල්කොට එවැනි අත්භූත වාදී හැඟීම් සිතට පිවිසුවා ගන්නා තරමට පුද්ගලයාගේ ප්‍රත්‍යක්ෂ විඥාණය අවප්‍රමාණ වෙනවා. ඒ අනුව ඒ ක්‍රියාව හාස්කමක් සේ සලකා එය සිදුකරන පුද්ගලයාට නතුවීම, අවනත වීම සාමාන්‍ය තත්ත්වයක්. මනෝවිද්‍යාවේ දී මේ තත්ත්වය හැඳින්වෙන්නේ ‘සිත වෙන අරමුණ යෙදීම (Distraction)’ යනුවෙන්.

ඒ වගේම සැම විටකම නොවුණත් මෙවැනි ක්‍රියාවල යෙදෙන්නවුන් ඒ සඳහා සියුම් උපාය මාර්ගද යොදන අවස්ථා තිබෙනවා.

පොල්ගෙඩිය පහසුවෙන් දෙපළු වීමට අවශ්‍ය කටයුතු කලින් සූදානම් කර ගැනීම සිදුවෙනවා. එම උපාය මාර්ගික ක්‍රියා බොහෝ විට නරඹන්නාට හැ‍ඟෙන්නේ නැහැ. බලි‍තොවිල් ශාන්ති කර්ම වලදී මෙවැනි සියුම් උපක්‍රම බහුලව යෙදෙනවා.

එමෙන්ම මැජික් කරුවන් විසින් සිදුකරනු ලබන ඇතැම් ඇස් බැන්ඳුම්ද දේව හාස්කම් වශයෙන් ඉදිරිපත් කොට ජනතාව රවට්ටන අවස්ථා තිබෙනවා. ඒ අනුව ඒවා ඇස්බැන්දුම් ලෙසින්ම සමාජයට ඉදිරිපත් කිරීම පිළිබඳව මැජික් කරුවන්ට අප ස්තූති වන්ත විය යුතුයි.

ඒ කෙසේ හෝ දේව හෝ යක්ෂ බලයකින් ආරූඬයකින් තොරව යමෙකුට කළ හැකි බව පැවසෙන අපහසු ක්‍රියාවන්, යක්ෂ‍ හෝ දේව බලයක් ලෙසින් හඳුන්වා එලෙසින්ම සිදුකිරීම හාස්කමක් සේ තැකීම විද්‍යාවටත් පටහැනියි.”