නොබෝ දිනකින් ලංකාවේ මුළුමණින්ම කෙරෙන ලන්ච් ෂීට් තහනමත් සමඟ ඊට අදාළ ආදේශක පිළිබද මේ වන විට බොහෝ අය කල්පනා කරන අතරේ කෙසෙල් කොළ පදම් කර කල් තබා ගෙන ප්‍රයෝජනයට ගත හැකි තාක්ෂණයක් හම්බන්තොට වැලිගත්ත කෘෂි තාක්ෂණ හා ග්‍රාමීය විද්‍යායතනයේ ජ්‍යොෂ්ඨ කථිකාචාරිනියක වන ආචාර්ය සුජාතා වීරසිංහ හඳුන්වාදී ඇත.
කෙසෙල් කොළ උණු වතුරෙන් පදම් කොට මේ ආදේශකය සකසා ගත් පසුව මාස 3ක් පමණ එය ශීතකරණයක කල් තබා ගත හැකි බවත් මේ කොළය ගුළි කළත් ඉරෙන්නේ නැති, භාවිතයෙන් පසුත් දින පහක් පමණ සෝදා යළිත් ප්‍රයෝජනයට ගත හැකි පරිසර හිතකාමී ආදේශකයක් බවත් ඇය පවසන ලදි.
මෙය කෙසෙල් වගා කරන ගොවීන්ට අමතර ආදායමක් උපයා ගත හැකි මාර්ගයක් බවත් එම කෙසෙල් කොළ පදම් කිරීමේ තාක්ෂණය අවශ්‍ය පිරිස් සඳහා ලබාදීමට සිය තාක්ෂණ විද්‍යායතනය සූදානම් වන බවත් ඇය පවසයි.
කෙසෙල් කොළ යනු මෙරට දුර්ලභ ශාක පත්‍රයක් නොවන නිසා විශේෂයෙන්ම ග්‍රාමීය ජනතාව අතරේ ප්‍රචලිත කළ හැකි පහසු තාක්ෂණයක් බව ඇය සදහන් කළ අතර මේ තාක්ෂණය ලබාගැනීමට කැමැති පිරිස්වලට කණ්ඩායම් වශයෙන් අධ්යක්ෂ, කොළඹ විශ්වවිද්‍යාලය, කෘෂි තාක්ෂණ හා ග්‍රාමීය විද්‍යායතනය, වැලිගත්ත නවනගරය, හම්බන්තොට යන ලිපිනය වෙත ලිපි යොමු කොට දිනයක් වෙන් කරවා ගත හැකි බවද සඳහන් කරන ලදි.