FAST NEWS

24×7 Around the Globe

නෙවිල් ප්‍රනාන්දු රෝහල් ගිවිසුමේ නොදත් පැත්තක් ගම්මන්පිලගෙන්..

පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

‘වෛද්‍ය සංගමය, වෛද්‍ය සිසුන්, වෛද්‍ය සිසු දෙමව්පියන්, සයිටම් විරෝධි දේශපාලන බලවේග, මේ කවුරුවත් රෝහල රජයට පවරා ගන්න කියා ඉල්ලා සිටියේ නෑ. කවුරුත් ඉල්ලා සිටියේ සයිටම් ජනසතු කරන්න කියලා. සයිටම් සහ නෙවිල් ප්‍රනාන්දු රෝහල කියන්නේ එකක් නොව දෙකක්. නෙවිල් ප්‍රනාන්දු රෝහල කියන්නේ පෞද්ගලික රෝහලක්. සයිටම් කියන්නේ නීති විරෝධි වෛද්‍ය පීඨයක්.

නෙවිල් ප්‍රනාන්දු රෝහලට රෝගීන් එන්නේ නැති නිසා අයිතිකාරයින්ට දැවැන්ත අර්බූදයක් මතු වෙලා තිබුණේ. එක පැත්තකින් රෝගීන් නැති නිසා මේ දැවැන්ත රෝහල නඩත්තු කරන්න ආදායමක් නෑ. අනිත් පැත්තෙන් රෝහලට රෝගීන් නැති නිසාම සයිටම් වෛද්‍ය පීඨය කර ගෙන යන්න බැරි වෙලා. නෙවිල් ප්‍රනාන්දු කියන ව්‍යාපාරිකයා මුහුණ දී සිටින මෙන්න මේ ප්‍රශ්න දෙක විසඳලා දීම තමයි මේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේ ඇත්ත අරමුණ.

මෙතරම් දැවෙන ජාතික ප්‍රශ්න තිබෙන රටක ආණ්ඩුවේ ප්‍රමුඛතාව විය යුත්තේ නෙවිල් ප්‍රනාන්දුගේ පෞද්ගලික ප්‍රශ්න විසඳීම ද? එක් එක් අයගේ පෞද්ගලික ප්‍රශ්න විසඳීම පසෙක තබා ඩෙංගු, කසළ, ජීවන බර, බදු බර වැනි ජනතාව දැවෙන ජාතික ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කරන මෙන් අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා’