FAST NEWS

24×7 Around the Globe

මදුරුවන්ගේ පැමිණීම වළක්‌වන්න පැළ 12ක් හඳුනා ගැනේ..

ඩෙංගු, මැලේරියා ඇතුළු සියලු මදුරු වර්ග පැමිණීම වළක්‌වන ගෙවත්තෙහි වගා කළ හැකි පැළ වර්ග 12 ක්‌ බටහිර පර්යේෂකයින් විසින් මේ වන විට හඳුන්වා තිබේ.

මදුරුවන් පැමිණීම වළක්‌වන මෙම පැළ වර්ග වනුයේ පැඟිරි (සිටුනෙල්ලා), දාස්‌පෙතියා (මැරගෝල්ඩ්), සේර (ලෙමන්ග්‍රාස්‌), මදුරුතලා, ලැවැන්ඩර්, පෙපර්මින්ට්‌, රෝස්‌ මරා, බැසිල්, පෙති රෝයල්, ගෙරනියම්, හෝස්‌මින්ට්‌ හා අඟරාටම් යං වේ.

මෙම පැළ වර්ග ගෙවත්තෙහි තැබීමෙන් මදුරුවන් පැමිණීම වළක්‌වන බව පර්යේෂණවලදී අනාවරණය වී ඇතැයි බටහිර මාධ්‍ය වාර්තා කරන ලදි.

මෙම මදුරු විකර්ශක පැළ අතුරින් පැඟිරි, දාස්‌පෙතියා, සේර හා මදුරුතලා ශ්‍රී ලංකාවට ආවේණික වූ පැළ වීම නිසා ඒවා ස්‌වාභාවික මදුරු විකර්ශක වශයෙන් භාවිත කළ හැකි බව වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රෙෂීලා සමරවීර මහත්මිය අප කළ විමසීමකදී පැවැසුවාය.

මෙම පැළ වර්ග ගෙවතුවල තබා ගැනීම මෙන්ම ඩෙංගු මදුරුවන් දෂ්ට කරන උදැසන 6-9 හා සවස 4-6 අතර කාලයන් තුළ පැඟිරි තෙල් සම මත ආලේප කිරීම, නින්දට යෑමේදී මදුරු දැල් භාවිත කිරීම, අත්දිග ලා පැහැති ඇඳුම් පැළඳීම (ඩෙංගු මදුරුවන් තද පැහැති ඇඳුම්වලට ආකර්ෂණය වන බව හෙළි වීම නිසා) මදුරුවන් දෂ්ට කළ ස්‌ථානය කැසීමෙන් වැළැකීම (ආසාදනයක්‌ බවට පත්විය හැකි නිසා) වැනි පියවර ඩෙංගු පැතිරෙන මෙම සමයේ අනුගමනය කිරීම වැදගත් බවද ඇය සදහන් කළාය.