ශ්‍රී ලංකාව තුළදී දෙවනුව හඹා ගොස් ජය ගැනීම සඳහා ඉහළම ඉලක්කය ඊයේ ලබා දුන් පාකිස්තාන් කණ්ඩායම ඉදිරියේ ලකුණු 135ක පරාජයක් ශ්‍රී ලංකා පිලට අත්වූයේ පාකිස්තානය පන්දුවාර 50ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී රැස්කළ ලකුණු 316ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා පිල ලකුණු 181කට දැවී ගිය නිසාය.
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති 3 වැනි එක් දින තරගයේදී ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟ පාකිස්තානය තරග 2-1 ක් ලෙස ඉදිරියෙන් සිටීමට සමත් වී ඇත.
ඊයේ තරගයේ වීරයා වූ සෆ්රාස් පාකිස්තාන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා (77) වෙමින් හා පන්දු රැකීමෙන් දස්කම් පෙන්වද්දී තමන් යැවූ පන්දුවාර 10දී මාලිංග හා තිසර පිළිවෙළින් ලකුණු 80ක් හා 63ක් බැගින් ප්‍රතිවාදීන්ට ලබා දීමද ශ්‍රී ලංකාවට අසීරු අභියෝගයකට මුහුණදීමට ප්‍රධාන හේතුව විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ පාකිස්තානු නායක අසාර් අලි තම ඉනිමට සාර්ථක ආරම්භයක් දෙමින් අහමඩ් ෂේසාඩ් සමඟ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 93ක සබඳතාවක් ගොඩනඟා පාකිස්තාන් ඉනිමට යහපත් අඩිතාලමක් දැමූ අතර පළමු කඩුල්ල වෙනුවෙන් පාකිස්තානු ආරම්භක පිතිකරුවන් දෙදෙනකු ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී මෙතෙක් තැබූ ඉහළම ලකුණු සබඳතාව මෙය වීමද විශේෂතත්ත්වයකි.
එනම් 1994 වසරේ අගෝස්තු මාසයේදී අමීර් සොහෙල් හා සයීඩ් අන්වර් ශ්‍රී ලංකාවට එරෙහිව පළමු කඩුල්ල වෙනුවෙන් තබා තිබූ ලකුණු 71ක වාර්තාවද ඊයේ මැකී ගිය අතර මුළු ලකුණු 124ක් ලෙස සටහන් වන විට නායකයාද දැවී ගියේය. එහෙත් ශ්‍රී ලංකා ඉනිමේ ළහිරු තිරිමාන්න හා උපුල් තරංග එක්ව 3 වැනි කඩුල්ල වෙනුවෙන් තැබූ ලකුණු 42ක සම්බන්ධය හැරෙන්නට වෙනත් කිසිදු ශ්‍රී ලංකා පිතිකරුවකු සාර්ථක නොවීය.
අසාර් අලි තම 8 වැනි එක් දින අර්ධ ශතකය සම්පූර්ණ කිරීමට එක් ලකුණක් අඩුවෙන් සිටියදී දුවද්දී දැවීයෑමට හසුකර ගැනීමට තරංග හා තිසර සමත් වුවද ඉන් පසුව මොහොමඩ් හෆීස්ට එකතු වූ ඊයේ තරගයේදී උසස්වීමක් ලබා පැමිණි සෆ්රාස් 3 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 72ක සබඳතාවක් ගොඩනැඟීමට සමත් විය.
ඉනිමේ 37 වැනි පන්දුවාරයේ 4 වැනි පන්දුවේදී 26 වැනි එක් දින අර්ධ ශතකය සම්පූර්ණ කර සිටි හෆීස් ලකුණු 54කට දවා ගන්නට සචිත් පතිරණ සමත් වීමත් සමඟ එම සම්බන්ධය කෙළවර වුවත් සෆ්රාස්ට එක්වූ ෂොයිබ් මලික් දෙදෙනා එක්ව තවත් ලකුණු 61ක් තම පිලට එකතු කර සිටියදී 2 වැනි එක් දින අර්ධ ශතකය ලෙස ලකුණු 77ක් ලබා සිටි සෆ්රාස් දුවද්දී දැවී යෑමට හසු විය.
පාකිස්තාන් ඉනිමේ අවසාන පන්දුවාර 10 තුළදී ලකුණු 93ක් රැස්කිරීමට දායක වූ ෂොයිබ් මලික් (42) හා මොහොමඩ් රිස්වාන් (35) දෙදෙනා නොදැවී සිටි අතර පසුගියදා නිමා වූ විම්බල්ඩන් ටෙනිස් ශූරතාවලියේදී යුගල ශූරතාවට හිමිකම් කී ටෙනිස් ක්‍රීඩිකාව මෙන්ම ෂොයිබ් මලික්ගේ බිරිය වන සානියා මිර්සාද ඊයේ තරගය නැරඹීමට පැමිණ සිටීම විශේෂතත්ත්වයකි.
පාකිස්තානය (පන්දුවාර 50 කදී කඩුලු 4කට) ලකුණු 316
අසාර් අලි 49 මොහොමඩ් හෆීස් 54
සෆ්රාස් අහමඩ් 77 ෂොයිබ් මලික් නොදැවී 49
ලසිත් මාලිංග 10-0-80-1 සචිත් පතිරණ 10-0-49-1
තිසර පෙරේරා 10-0-63-0
ශ්‍රී ලංකාව ( පන්දුවාර 41.1 කදී සියලුදෙනා දැවී ) ලකුණු 181
කුසල් පෙරේර 20 ළහිරු තිරිමාන්න 56
දිනේෂ් චන්දිමාල් 18 සචිත් පතිරණ 19
යසීර් ෂා 10-1-29-4 අන්වර් අලි 5-0-24-2
රහත් අලි 7-0-35-1 ඉමාඩ් වසීම් 7.1-0-28-2






