FAST NEWS

24×7 Around the Globe

ලක්ෂ 77 මංකොල්ලය කළ ඔත්තුකරු රෙදිපිළි ආයතනයේම සේවකයෙක්..

තම පියාගේ පිළිකා රෝගයට ප්‍රතිකාර කරන්නට මුදල් අගහිඟකම් මතුවීම නිසා අපරාධයක් සිදු කරවා හෝ එම මුදල් සොයාගන්නට පෙළැඹුණ අපූරු පීතෘ ස්නේහය ඇති පුතෙකු පිළිබඳ හෙළිදරව්වක්, පසුගියදා රටේ ආන්දෝලනයක් ඇති කළ රාගම ලක්ෂ 77  මංකොල්ලය පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලිසියට සැලවී තිබේ.

මෙම කොල්ලය සිදුවුනේ වත්තල ‘කැන්ඩි‘ රෙදිපිළි ආයතනයෙන් ඉවත් කළ සේවකයෙකු සැපයූ ඔත්තුවක් මත එම ආයතනයේ මුදල් ගෙනයමින් පැවති අවස්ථාවක වාහනය හරස් කළ කොල්ල කණ්ඩායමක් මගිනි.

කොල්ලය මෙහෙයවන්නට මුල් ඔත්තුව දුන් මේ කියන සේවකයා මින් පෙර අපරාධවලට සම්බන්ධව සිටි අයෙකු නොවන අතර ඔහුට බූරු ‍පොළකදී හමුවූ ජගත් නමැති කොල්ල කල්ලි නායකයා සමග ඇතිවූ කථාබහේදී මෙම මුදල් කොල්ලකන යෝජනාව දන්වා තිබුණි.

ලක්ෂ ගාණක් මුදල් සොරාගත හැකි බවත් තමාට ඉන් අවශ්‍ය කරන්නේ ලක්ෂ 5 ක් පමණක් බවත් ඔත්තුකාර සේවකයා දන්වා තිබුණ අතර ඒ කියූ ලෙසම කොල්ලකෑම අවසානයේ ඔහුගේ මුදල් කොටසද ලැබී තිබේ.

පාසලින් මෑතක ඉවත්වූ  විසිහැවිරිදි වයසේ සිටි හර්ෂණ නමැති මේ ඔත්තුකරු කොල්ලකරුවන් ලබාදුන් ලක්ෂ පහක මුදලින් ලක්ෂ දෙකක් රෝහල්ගතව සිටින සිය පියාගේ පිළිකා එන්නත් සඳහා වැයකර ඇතැයිද විමර්ශනවලදී හෙළි වී ඇත.

කොල්ලකෑ පිරිස ලක්ෂ 15 බැගින් බෙදාගෙන ඉන් පසුව වෙනමම ලක්ෂ පහක් ඔත්තුකරුට ලබාදී ඇති බවද හෙළිවී ඇත.

ඔහුගේ පියාගේ පිළිකා රෝගය කාලයක් තිස්සේ උත්සන්න මට්ටමක පැවතියත් මුදල් හිඟකම නිසා ප්‍රතිකාර ප්‍රමාද වූ බවත් ඒ අතරවාරයේ රැකියාවේ ප්‍රශ්නයක් නිසා රැකියාවද අහිමිවූ බවත් පවසා ඇති අතර කොල්ලයක් සිදු කර හෝ මුදල් උපයාගන්නට සිතා මෙම ඔත්තුව ලබාදුන් බව පවසා ඇත.

මේ වනවිට මෙම කොල්ලය සිදුකළ සැකකරුවන් සියල්ල අල්ලාගෙන තිබෙන අතර ඔවුන් ලක්ෂ ගණන් මුදල් සඟවා ඇති තැන්වලින් නැවත පොලිසියට ලබාදෙන්නට කටයුතු කර තිබුණි.

3 වනදා වන විට කොල්ලකෑ මුදලින් රුපියල් ලක්ෂ 40ක් සොයාගත් බව කැලණිය පොලිසිය දන්වා ඇත.