FAST NEWS

24×7 Around the Globe

ජනපති වුණාට පස්සේ අපි දැකපු මහින්ද නෙවෙයි හිටියේ යකෙක්..

“මට භාර වුණේ බෙලිඅත්තේ අරන්වල ගමේ ජනතාව ඒකරාශි කිරීමයි පැවරුණේ. මම ඒ කාර්ය කරන ගමන් රෑ යනවා මහින්ද මහත්තයාලගේ ගෙදර නිදාගන්න. අපිට කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි දාලා කාමර දුන්නේ නැහැ. පිට පළාත්වලින් ගියපු අපි කට්ටිය අගුවේ නිදා ගත්තේ. කන්න බොන්නත් නැහැ. කඩේකින් පාන් කෑල්ලක් කාලා අපි ගෙනියපු බෙඩ් ෂීට් එළාගෙන අපේ බෑග් ඔළුවට තියාගෙන අපි මාසයක් දුක් වින්දා. ඒ දවස්වල අපි දැක්කාම එන්න මල්ලි කියලා පිටට තට්ටු කරලා කොහොමද කියලා සැලකුවේ. හැබැයි ජනාධිපතිවරයා බවට පත් වුණාට පස්සේ අපි එදා දැකපු මහින්ද නෙවෙයි හිටියේ. යකෙක් තමයි දැක්කේ.”

උතුරු මැද පළාත් සමුපකාර ප්‍රවාහන හා ක්‍රීඩා අමාත්‍ය සුසිල් ගුණරත්න මහතා එසේ ප්‍රකාශ කළේ  තිරප්පනේ පැවැති ජන හමුවක් අමතමිනි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව මම මුණගැහෙන්න තිසාවැවේ ජනාධිපති මන්දිරයට ගිහිල්ලා, මට විනාඩි පහක් දෙන්න ප්‍රශ්න කිහිපයක් තියෙනවා සාකච්ඡා කරන්න කියලා. එච්චරයි මම කිව්වේ. බනින්න ගත්තා. විනාඩි පහයි මම කතා කරන්න ඉල්ලුවේ. පැය භාගයක් මට බැන්නා. ආදරයෙන් අපි ගොඩනඟාගත්ත නායකයෝ අපි මහජන නියෝජිතයෝ ලෙස ගිහින් ප්‍රශ්නයක් කතා කළාම අපිට දක්වපු ප්‍රතිචාර එහෙම යැයි ද හෙතෙම ප්‍රකාශ කරන ලදි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට අපි ගරු කරනවා. හැබැයි එතුමාට නැවත වාරයක් මේ රටේ ජනාධිපති වෙන්න බැහැ. අපිට ලැබුණු ආරංචි මාර්ග හැටියට ඉදිරියේදී සංශෝධනය කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දෙවතාවක් මේ රටේ ජනාධිපති ධුරය දරපු කිසි කෙනකුට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුවත් වෙන්න බැරි විදියේ අණපනත් සම්මත වෙනවා.

අපි පුද්ගල වන්දනාවේ යෙදිලා වැඩක් නැහැ. අපි මහින්ද රාජපක්ෂ මැතිතුමාට ගරු කරනවා. එතුමා යුද්ධය අවසන් කළ නිසා. නමුත් කවරදාකවත් එතුමාට නැවත මේ රටේ රාජ්‍ය නායකත්වයට එන්න බැහැ. ඒක සිහිනයක් විතරයි.”