FAST NEWS

24×7 Around the Globe

ගුරුවරියකගේ ඇඳුම් ගලවා අත කපන්න හදලා..

ඉකුත් 22දා පුත්තලම අධ්‍යාපන කලාපයට අයත් ආනමඩුව කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය මඟින් පාලනය වන නවගත්තේගම ප්‍රදේශයේ ප්‍රාථමිකයක සේවය කරන ගුරුවරියන් දෙදෙනකු අතර ඇති වූ මතභේදයක් දුරදිග යෑම හේතුවෙන් ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් නිසා ඊට සම්බන්ධ ගුරුවරියන් දෙදෙනා හා එයට සම්බන්ධ තවත් ගුරුවරුන් දෙදෙනකු වහාම වෙනත් පාසලකට මාරු කර යැවීමට වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍ය රාජපක්ෂ මහතා නියෝග කොට තිබේ.

මෙම සිද්ධිය වාර්තා වීමත් සමග ඉකුත් ජුනි මස 27දා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පාසලට ගිය ඇමැතිවරයා වහාම මවුපියන්ද කැඳවා මේ තීරණය ගැනීමට කටයුතු කර තිබේ.

ගැටුම ඇතිවූ ගුරුවරියන් දෙදෙනාගෙන් ළාබාල ගුරුවරිය පාසලේ ඉංග්‍රීසි විෂය උගන්වන අතර ඇයට තර්ජනය කළ ගුරුවරිය පාසලේ හතර ඒ ශ්‍රේණිය භාරව කටයුතු කරමින් සිට ඇත.

ඇය නවගත්තේගම මහ විදුහලේ වසර 20ක සේවා කාලයකින් පසු 2012 වසරේදී මෙම ප්‍රාථමික පාසලට මාරුවක් ලබාගෙන පැමිණ ඇති බව වාර්තා විය.

ඉකුත් දිනකදී මෙම ඉංග්‍රීසි ගුරුවරිය විසින් 4 ඒ ශ්‍රේණිය හා බී ශ්‍රේණියේ දරුවන් පන්ති කාමරයෙන් පිටත ස්ථානයකට රැගෙන ගොස් ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට සූදානම් වී පන්ති වාර්තා පොතද රැගෙන පිටව යෑමට සූදානම් වූ අවස්ථාවේ පන්ති කාමරයට පැමිණ තර්ජනය කළ ගුරුවරිය පවසා ඇත්තේ පන්ති වාර්තා පොත පන්තියෙන් පිටතට රැගෙන නොයන ලෙසත් එසේ රැගෙන යෑමෙන් එය අපිරිසුදු වන බවත් අවශ්‍ය නම් කාලච්ඡේදය අවසන් වී යළි පැමිණ අස්සන් තබන ලෙසත්ය.

ඒ අනුව ඇගේ අණට කීකරු වූ ළාබාල ඉංග්‍රීසි ගුරුවරිය අදාළ පාඩම් උගන්වා අවසානයේදී ළමයකු යවා පන්ති වාර්තා පොත ගෙන්වා ගෙන එය අස්සන් කර තිබේ.

ඊට පසු දින පාසලට පැමිණි පන්ති භාර ගුරුවරිය ඉංග්‍රීසි ගුරුවරිය පොතේ අස්සන් කළේ කෙසේ දැයි නොදැන ඇය තම කබඩ් එක හොර යතුරකින් ඇර පන්ති වාර්තා පොත අස්සන් කර ඇති බවත් කබඩ් එකෙහි තිබූ තවත් පොත්පත් සොරාගෙන ඇති බවත් යැයි චෝදනා කරමින් ඇගේ ඇඳුම් ගලවා අත් දෙක කපා දමන බවට තර්ජනය කර තිබේ.

කෙසේ වෙතත් අදාළ ඉංග්‍රීසි ගුරුවරිය විසින් මේ පිළිබඳ පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබිණි.

මෙසේ තර්ජනය කළ ගුරුවරිය ශිෂ්‍යත්ව ළමයින් සඳහා ටියුෂන් පන්ති පවත්වන අතර ඉංග්‍රීසි ගුරුවරිය විසින් පාසලේ සවස පන්ති පවත්වන නිසා සිදුවන බාධාව හේතුවෙන් එම ඉංග්‍රීසි ගුරුවරියගෙන් මෙසේ පළිගන්නා බවට මවුපියවරු කියා සිටියහ.

කෙසේ වෙතත් එම සිදුවීම සිදුවූ දිනට පසු දින සවසද මේ ටියුෂන් පන්ති පවත්වන ගුරුවරිය හා එම පාසලේම ගුරුවරයෙක් පාසලට පැමිණ ළමයින් රැගෙන යෑමට එන මවුපියන්ට පවසා ඇත්තේ ඉංග්‍රීසි ගුරුවරිය විසින් පාසලේ පන්ති පැවැත්වීම නිසා ටියුෂන් පන්ති පැවැත්වීමට නොහැකි බවත් පසු දිනයේ සියලුම දෙනා පාසලට පැමිණ ඒ වෙනුවෙන් විරෝධයක් ප්‍රකාශ කරන ලෙසත්ය.

ඒ අනුව තම දරුවන්ගේ ටියුෂන් අයිතිය දිනා ගැනීම වෙනුවෙන් කිපුණු මවුපියන් කොටසක් පසුදා උදෑසන (23දා) පාසලට බලහත්කාරයෙන් ඇතුළු වී විදුහල්පතිතුමාටද තර්ජනය කර පරුෂ වචනයෙන් බැන පාසලේ අධ්‍යාපන කටයුතුවලට පවා බාධා වන අයුරින් කලහ කර තිබේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඒ අවස්ථාවේදීම පාසලේ විදුහල්පතිවරයා නවගත්තේගම පොලිසියේ ස්ථානාධිපතිතුමාට දන්වා පැමිණිල්ලක් දමා ඇති අතර ස්ථානාධිපතිවරයා පැමිණ මවුපියන් පාසලෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් 25දා නවගත්තේගම පොලිස් ස්ථානයේදී විදුහල්පතිවරයා හා මවුපියන් කැඳවා කරුණු විමසීමක් සිදුකළ ස්ථානාධිපතිවරයා සිද්ධිය සමථයකට පත් කිරීමට කටයුතු කර ඇත.

කෙසේ වෙතත් පාසලට කඩා වැදුණු මවුපියන්ද තමාගේ දරුවාගේ අමතර ශිෂ්‍යත්ව පන්තිය වෙනුවෙන් ඒ ආකාරයෙන් පාසලට කඩා වැදුණු බව කියා සිටින අනෙක් මවුපියන් මේ ගුරුවරිය හා ගුරුවරයාට ටියුෂන් පන්ති පැවැත්වීමට අවස්ථාවක් නොවීම නිසා මේ ආකාරයෙන් ඉංග්‍රීසි ගුරුවරියගෙන් පළිගන්නා බවද ඇය විශාල කැප කිරීමක් පාසලේ දරුවන් වෙනුවෙන් ඉටු කිරීම හමුවේ එය ඉවසා සිටීමට නොහැකි නිසා මෙවැනි කෙනෙහිලිකම් සිදුකරන බවද මීට සම්බන්ධ නොමැති මවුපියෝ පවසා සිටියහ.

මේ සම්බන්ධව ඉංග්‍රීසි ගුරුවරියට තර්ජනය සිදු කළැයි කියන ගුරුවරිය සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයකදීම උත්සාහ ගත්තද එය ව්‍යර්ථ විය.

අදාළ සිදුවීම සම්බන්ධයෙන්  පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්ලිව්. පී. එස්. කේ. විජේසිංහ මහතාගෙන් හා වයඹ පළාත් අධ්‍යාපන ඇමැති සන්ධ්‍ය රාජපක්ෂ මහතාගෙන් විමසා සිටි අතර ඊට පසු දිනම ඇමැතිවරයා එම පාසලට පැමිණ අදාළ සිද්ධියට සම්බන්ධ ගුරුවරුන් සිවුදෙනකු වහාම මාරු කරන ලෙස නියෝග කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ කියා සිටියේය.

“පුංචි සිද්ධියක් තමා මේ විදියට ලොකු කරගෙන කෑ ගහලා තියෙන්නේ. මම පසුගිය 27දා ඒ පාසලට ගියා. ගිහින් ඒ සිද්ධියට සම්බන්ධ ගුරුවරියන් දෙදෙනයි තවත් දෙන්නකුයි වහාම මාරු කිරීමට කටයුතු කළා. තවදුරටත් මේ වගේ ප්‍රශ්නයක් ඉදිරියට වුණොත් ඒ පාසලේ ඉන්න අනිත් ගුරුවරු 14 දෙනත් මාරු කරන්න කටයුතු කරනවා”