වෙන්නප්පුව නගරයේ ව්‍යාපාරයක් පවත්වා ගෙන යන ව්‍යාපාරිකයකු හා මෝටර් රථයක් පැහැර ගෙනයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසිය විමර්ශන කරයි.
පසුගිය 25 දා අලුයම සිද්ධිය වී ඇති අතර මෙසේ පැහැරගැනීමට ලක්ව ඇත්තේ වෙන්නප්පුව හෙලන් මාවතේ පදිංචිකරුවකු වන නිහාල් අජිත් පීරිස් නමැති අයෙකි.
එදින අලුයම කිසියම් අවශ්‍යතාවයකට යැයි මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු සිය සැමියාට කතා කොට රැගෙන ගොස් මෝටර් රථය පණගන්වා පැහැර ගෙන ගිය බවට බිරිඳ විසින් වෙන්නප්පුව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ.
පැහැර ගැනීමෙන් අනතුරුව ඉකුත් 26 වැනිදා සවස මඩකලපුව නිවසක තමන් රඳවා ගෙන සිටින බවත්, නිදහස් කිරීමට නම් තමන්ගෙන් ලක්ෂ 50 ක මුදලක් ඉල්ලා සිටින බවත් පවසා සැමියා දුරකථන පණිවිඩයකින් සඳහන් කළ බවත් පැහැරගත් අයගේ බිරිඳ පැමිණිල්ලේ සඳහන් කර තිබේ.
සිද්ධිය සම්බන්ධව වෙන්නප්පුව පොලිසිය විමර්ශන කටයුතු සිදුකරයි.









