සෝමාවතිය ජාතික වනෝද්‍යානයට අයත් මැදිරිගිරිය, බෙරිවිල කොටසේ දඩයක්‌කරුවන් විසින් වන සතුන් දඩයම් කොට මස් විකිණීමේ ජාවාරමක් සංවිධානාත්මකව සිදුකරන බවට ලැබුණු තොරතුරක් මත එහි සිදුකළ වැටලීමකදී බෙහෙත් කොටන තුවක්‌කු දෙකක්, වෙඩි බෙහෙත්, යකඩ බෝල යනාදී සතුන් දඩයම් කිරීමට උපයෝගී කරගන්නා උපකරණ තොගයක් සොයාගැනීමට හැකිවූ බව වනජීවී නිලධාරීහු කියති.
පෙරේදා (25) පස්‌වරුවේ මේවා සොයාගෙන ඇත්තේ බෙරිවිල ප්‍රදේශයේ මහවැලි ගඟට ආසන්නයේ පිහිටි අනවසරයෙන් ඉදිකර තිබූ වාඩියක් තුළ සඟවා තිබියදීය.
මෙය වන සතුන් දඩයම් කරන දඩයක්‌කරුවන් විසින් පරිහරණය කරන අනවසර වාඩියක් බව වනජීවී නිලධාරීහු සඳහන් කරති.
මේ අතර තවදුරටත් එම වාඩිය පරීක්‌ෂා කිරීමේදී මරා දමන ලද ගෝනකුගේ සහ මුවකුගේ බවට සැක කළ හැකි අං තට්‌ටු දෙකක් ද වනජීවී නිලධාරීන්ට හමුවී තිබේ.
වනජීවී නිලධාරීන් විසින් එම කලාපය තුළ වැටලීම සිදුකරන අවස්‌ථාවේ සැකකරුවන් පලා යන්නට ඇතැයි බොහෝ දුරට විශ්වාස කෙරේ.
වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ මැදිරිගිරි බීට්‌ටු කාර්යාලයේ වනජීවී නිලධාරීන් වන සත්ත්ව අඩවි සහකාර පී. එස්. මාපටුන, වන සත්ත්ව නියාමක කේ. කේ. එස්. ආරියරත්න යන මහත්වරුන් ඇතුළු කණ්‌ඩායමක් මෙම වැටලීම සිදුකර ඇත.









