දිවි පරදුවට තබා දේශය රැකගත් හමුදා ප්‍රජාවට, ඩයස්පෝරාවේ සහ බටහිර බලපෑම් හමුවේ වර්තමාන පාලකයන් විසින් කෙනෙහිලිකම් කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා කියා සිටියි.
මන්ත්‍රීවරයා ඊයේ(21) සවස ඒ බව සඳහන් කලේ, ඔහුගේ සිව් දින පාකිස්ථාන සංචාරයට සමගාමීව ඉස්ලමාබාත් සෙරේනා හෝටලයේ, ‘පාකිස්ථානයේ ආරක්ෂික අධ්‍යාපන සහ පර්යේෂණ’ (RSS) ආයතනය විසින් සංවිධානය කොට තිබු “සාමය සඳහා වූ ශ්‍රී ලාංකික අරගලය සහ එහි පාඩම්” සමුළුවේ ප්‍රධාන දේශකයා වශයෙන් සහභාගී වෙමිනි.
“ත්රස්තවාදියාට තේරෙන භාෂාවෙන් උත්තර දිය යුතුයි. හොද ත්රස්තවාදියා නරක ත්රස්තවාදියා කියා බෙදන්න එපා. ප්රජාතන්ත්රවාදයේ පරම සතුරා ත්‍රස්තවාදය බව මොහොතකට හෝ අමතක කරන්න එපා….” යයි ද මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේය.
එල්.ටි.ටි.ඊ. සංවිධානය පරාජය කරමින් ලද යුධ ජයග්‍රහණය සඳහා පකිස්ථානය, චීනය සහ ඉන්දියාව ප්රමුඛ රාජ්‍යයන් කල මෙහෙවර හිටපු සේනාධිනායකයා ලෙස තමා අගය කරන බව ද මන්ත්‍රීවරයා පැවසීය.
මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, හිටපු විදේශ අමාත්‍ය ජී එල් පීරිස් යන මහත්වරුන් එක්වී සිටියේය.









