FAST NEWS

24×7 Around the Globe

ඩෙංගු කීටයන් විනාශ කරන්න ශාක භක්‍ෂක මදුරුවෙක්‌..

ඩෙංගු මදුරු කීටයන් විනාශ කරන මදුරුවකු පිළිබඳ වෛද්‍ය පර්යේෂණ ආයතනය මේ දිනවල පරීක්‍ෂණයක්‌ පවත්වමින් සිටින බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්‌තර රාජිත සේනාරත්න මහතා ඊයේ (20 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ශාක භක්‍ෂක මදුරුවෙක්‌ ලෙස හඳුනාගෙන ඇති මෙම මදුරුවාට එකවර ඩෙංගු මදුරු කීටයන් රැසක්‌ කා දැමිය හැකි බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

මීට අමතරව ඩෙංගු මර්දන බැක්‌ටීරියාවක්‌ ඔස්‌ට්‍රේලියාවෙන් ගෙන්වීමට තීරණය කර ඇතැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ස්‌ථාවර නියෝග යටතේ දිනේෂ් ගුණවර්ධන මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සෞඛ්‍ය ඇමැතිවරයා මෙසේ ද කීවේය.

ගස්‌ලබු කොළ යුෂ ඩෙංගු රෝගීන්ට හොඳයි කියා කියනවා. ඒ පිළිබඳ පරීක්‍ෂණ කිරීමට නාවින්න ආයුර්වේදයට උපදෙස්‌ දී තිබෙනවා. මමත් ලෙඩුන් කිහිපදෙනකුට පැවසුවා මේ ගස්‌ලබු කොළ හොඳයි කියලා. සමහර ලෙඩුන්ට එය හොඳයි. ඒත් සමහරුන්ට එහි ප්‍රතිඵලයක්‌ නෑ.

ඩෙංගු විශේෂ ඒකක දෙකක්‌ අයි. ඩී. එච්. හා මීගමුව රෝහල්වල තිබෙනවා විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකු යටතේ. අයි. ඩී. එච්. ප්‍රමාණවත් මදි නිසා වෑතර, තලංගම සහ කළුබෝවිල රෝහල් අරගත්තා. මීගමුවේත් විජය කුමාරතුංග රෝහලේත් වාට්‌ටු ඩෙංගු රෝගීන් සඳහා ලබාගත්තා. අපි ඇඳන් ප්‍රමාණය වැඩි කරලා ප්‍රතිකාර පුළුල් කළා. පුහුණුව ලත් වෛද්‍යවරු මේ ප්‍රතිකාරවලට යොමු කළා. ඩෙංගු රුධිර පරීක්‍ෂණ ගාස්‌තු මිල අඩු කළා. රජයේ රෝහල්වල රුධිර පරීක්‍ෂාව ඉක්‌මනින් කරනවා.