FAST NEWS

24×7 Around the Globe

මුදල් හොයාගෙන ඉන්නේ, අවතැන් වුවන් ගොඩනගන්න අපිට පුළුවන්..

 

ගංවතුරෙන් සහ නාය යාමෙන් ආපදා වූ ප්‍රදේශ යළි ගොඩනැංවීම සඳහා අවශ්‍ය මුදල් සියල්ල සොයා ගෙන අවසන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

අග්‍රාමාත්‍යවරයා එසේ පැවැසුවේ, නාය යාමෙන් සහ ගංවතුරෙන් ආපදා වූ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශවල සංචාරය කරමින් එහි ජනතාව හමුවී ඔවුන්ගේ සුවදුක් විමසීමෙන් පසු කොටපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී රාජ්‍ය නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදීය.

නිවාස ඉදිකිරීම් ඇතුළු සෙසු වැඩ කටයුතු සඳහා රුපියල් බිලියන 20 ක් අවශ්‍ය බව ඇස්තමේන්තු කර ඇතැයි කී අග්‍රාමාත්‍යවරයා, සම්පූර්ණයෙන් බිඳ වැටුණු ආර්ථිකය කෙටි කලක් තුළ යථා තත්ත්වයට පත් කිරීම සඳහා කැපවන බවටත්  දේශපාලන බේද ඉවතලා ජනතාව වෙනුවෙන් වැඩ කරන්නට එක්වන්න ලෙස සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටින බවත් සදහන් කලේය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවැසීය.

ගංවතුරෙන් ආපදාවට පත් ජනතාවට ඒ අවස්ථාවේම සහන සැලසීමට රජය ලෙස අප ක්‍රියා කළා. ගංවතුර ආපදා තත්ත්වය මේ වනවිට අවසානයි. දැන් කිරීමට තිබෙන්නේ ආපදාවට පත් ප්‍රදේශ නැවත යථා තත්ත්වයට පත් කිරීමයි. ඒ පිළිබඳ කරුණු අවබෝධ කර ගනිමින් සහ සාකච්ඡා කරමින් අවශ්‍ය සහන සැලසීමට කටයුතු කරනවා.
පසුගිය අඟහරුවාදා දිනයේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති අමාත්‍යවරුන් සහ නිලධාරින් සහභාගිවූ සාකච්ඡාවේදී මේ පිළිබඳව අවශ්‍ය කටයුතු කිරීමට අප තීරණය කළා.

සහන සැලසීමේ කටයුතුවල දී අප සාර්ථක ලෙස ක්‍රියා කළේ කෙසේ දැයි විශේෂයෙන් මා පැවැසිය යුතුයි. එලෙස සාර්ථක වීමට හැකි වූයේ ඒ අවස්ථාවේදී දක්ෂ ලෙස ක්‍රියා කළ නිලධාරින් නිසයි. කොටපොළ මෙන්ම කුකුළේ ගඟ ඇතුළු අවට ප්‍රදේශ රැසකට විශාල ගංවතුර තත්ත්වයක් ඇතිවුණා. 2003 වසරේ ඇතිවූ විශාල ගංවතුරට සමාන ආපදාවකට මුහුණදීමට අපට සිදුවුණා.

ආපදා තත්ත්වයේදී ජනතාවට සහන සැලසීමේ කටයුතු සාර්ථක කර ගැනීමට අපට හැකිවුණේ පෙර සිටම සැලැස්මක් තිබූ නිසයි. සිකුරාදා උදෑසන සිට ආපදා කළමනාකරණ අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍ය ලේකම්වරයා ත්‍රිවිධ හමුදාව ඇතුළු අනෙකුත් ආයතන යොදා ගනිමින් සහන සැළසීමේ කටයුතු මෙහෙයවූවා. සියලු මෙහෙයුම් කටයුතු සාර්ථක වුණේ සියලුම රාජ්‍ය නිලධාරින් කැපවීමෙන් වැඩ කළ නිසයි.

ඔවුන් සියලු දෙනාම තම ජීවිත හෝ දේපළ හෝ පිළිබඳ නොසිතා ආපදාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු සඳහා උපරිමයෙන් දායක වුණා. රාජ්‍ය සේවකයන් පමණක් නොව පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවත් මේ කටයුතු සඳහා විශාල දායකත්වය දුන්නා.

නෙළුව ප්‍රදේශයේ සහන සැලසීමේ කටයුතුවලදී ජීවිතක්ෂයට පත්වූ ගුවන් හමුදා නිලධාරියා ගැන විශේෂයෙන් සිහිකළ යුතුයි. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් ආදි සියලුම දේශපාලනඥයන්ද මේ අවස්ථාවේදී විශාල දායකත්වයක් දුන්නා. සහන සැලසීමේ කටයුතු සාර්ථක වුණේ මේ සියලු දේ නිසයි.

විනාශයට පත්වූ සියලු ප්‍රදේශ සහ දේපළ හඳුනාගෙන ඒවා යථා තත්ත්වයට පත් කිරීම දැන් කළ යුතුව තිබෙනවා. රටේ පවතින මූල්‍ය තත්ත්වය මත මේ පිළිබඳව සාකච්ඡා කරමින් ජනතාවට අවශ්‍ය විසඳුම් දීමට අප සූදානම්.

ආපදාව වූ සතියේ සෙනසුරාදා දිනයේ ජනතාවට සහන සැලසීමට ප්‍රධාන තීරණ දෙකක් අප විසින් ගනු ලැබුවා. ඉන් පළමුවැන්න ලෙස ජනාධිපතිතුමා කළුතර ප්‍රදේශයේ සංචාරය කරමින් හානිවූ නිවාස සඳහා අවශ්‍ය මුදල් දීමට තීරණය කළා. හානිවූ ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීමට නම් පළමුවෙන්ම ජනතාවට නිවාස පහසුකම් සලසාදිය යුතුයි.
දෙවැනි තීරණය ලෙස ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සම්පාදනය කරන ආකාරය පිළිබඳව අදාළ බලධාරින්ට උපදෙස් මා දුන්නා. එහි පියවර කීපයක් ක්ෂණිකව ක්‍රියාත්මක කිරීමට ද හැකිවුණා.
නිවාස දීම සඳහා සම්පූර්ණ, අර්ධ සහ සුළු වශයෙන් හානියට පත්වූ නිවාස පිළිබඳ වාර්තා ගත්තා. එහි 50% මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙනවා. නිවාස සඳහා ආධාර දීමට මහ බැංකුව හරහා රුපියල් මිලියන 15-20ත් අතර මුදලක් මේ වනවිට අප ගෙන තිබෙනවා. ඒ මුදලින් හානියට පත් සියලු නිවාස සඳහා ආධාර දීමට අප කටයුතු කරනවා.

ඊට පෙර නිවාස අහිමිව කූඩාරම්වල ජීවත්වන ජනතාවට කුලී පදනම මත නිවාස සොයා ගැනීම සඳහා අවශ්‍ය මුදල් දීමට අප තීරණය කළා. ඉන්පසුව ජනතාවට සිය නිවෙස් නැවත ඉදිකර ගැනීම සඳහාත් මුදල් දෙනවා. මේ වනවිට ඊට අදාළ තක්සේරු කිරීම්ද අවසන් කරලා. මේ සඳහා මහා භාණ්ඩාගාරය, වෙනත් අරමුදල්, විදේශ ආධාර සහ පුද්ගලික පරිත්‍යාගශීලීන් ඉදිරිපත්වී සිටිනවා.

මෙවර ආපදාවෙන් අනතුරුව කඩිනමින්ම විනාශවූ ආර්ථිකය නඟා සිටුවීමටද මා තීරණය කළා. 2003 දී සහ සුනාමි අවස්ථාවේදී විනාශ වූ ගොඩනැගිලි සහ නිවාස ඉදිකළද විනාශවූ ආර්ථිකය නඟා සිටුවීම අමතක කළා. නමුත් මෙවර ආපදාව වූ අවස්ථාවේදීම මහ බැංකුවෙන් රුපියල් බිලියන දෙකක මුදලක් මම ඉල්ලා සිටියා. මේ ප්‍රදේශවල ආර්ථිකය නැවත නඟා සිටුවීමට සහ ජනතාවට අවශ්‍ය ණය මුදල් දීමට මා එය යොදවනවා.

ආපදාවට පත්වූ ප්‍රදේශවල විශාල කර්මාන්ත ශාලා ඉදිකරමින් ග්‍රාමීය ආර්ථිකය නැවත නඟා සිටුවීමට උපකාර කිරීමට තමන් සූදානම් බව පෞද්ගලික ව්‍යාපාරිකයන් කිහිප දෙනකුද මා සමඟ පවසා සිටියා. ඒ සඳහා අවශ්‍ය මූල්‍යාධාර දීමටත් අප සූදානම්.

මේ ප්‍රදේශවල කුඩා ව්‍යාපාර සඳහා ආධාර දීමට විශේෂ ණය ක්‍රමය සහ යෝජනා කීපයක්ම අපට ලැබී තිබෙනවා. මුදල් අමාත්‍යංශය හරහා ඒ පිළිබඳ සාකච්ඡා කරමින් දිය හැකි මූල්‍යාධාර වෙන් කිරීමට මා කටයුතු කරනවා.

ආපදාවට පත්වූ දේපළ සඳහා රක්ෂණාවරණ දීමට රක්ෂණ ආයතන තවමත් ඉදිරිපත්වී නැතැයි චෝදනාවක් එල්ල වෙනවා. ඒ පිළිබඳව සලකා බලා කටයුතු කරනවා. හානිවූ දේපළ වෙනුවෙන් ජනතාවට රක්ෂණ මුදල් ලැබෙනවා නම් ප්‍රදේශයේ ආර්ථිකය නැවත සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට හැකියි.

මේ ප්‍රදේශවල ඇතැම් නගර මුළුමනින්ම ජලයෙන් යටවුණා. ඇතැම් නගරවල කොටසක් ජලයෙන් යටවූ අතර හානි නොවූ නගරත් තිබෙනවා.

මේ ප්‍රදේශයේ ආර්ථිකය විශාල වශයෙන් රඳා පවතින්නේ තේ කර්මාන්තය මතයි. දකුණේ ආර්ථිකය පිළිබඳ සලකා බලන විට සංචාරක සහ ධීවර කර්මාන්තය වෙරළබඩ ප්‍රදේශයන්හි තිබෙන අතර දකුණේ අභ්‍යන්තර ප්‍රදේශවල තිබෙන්නේ තේ කර්මාන්තයයි.

ආපදාව හේතුවෙන් තේ කර්මාන්තයට වී ඇති ප්‍රධානම බලපෑම නම් මාර්ග පද්ධති හානියට පත්වී තිබීමයි. තේ දළු කර්මාන්ත ශාලා සඳහා ගෙනයාම පහසු කරවීමට ප්‍රාදේශීය සභා, පළාත් සභා මාර්ග පද්ධති සහ පාලම් කඩිනමින් පිළිසකර කළ යුතුයි. ආපදාවට පත්වූ දිස්ත්‍රික්ක පහම සලකා බලනවිට අක්කර 3000ක පමණ තේ වගාවට හානි වෙලා. ඒ නිසා තේ කර්මාන්තය නැවත නඟා සිටුවීමට, නිවාස ඉදිකරදීමට, ආර්ථිකය නඟා සිටුවීමට අප කටයුතු කරනවා.

එමෙන්ම හානියට පත් වාරි මාර්ග, සෞඛ්‍ය සහ පාසල් පද්ධති ද නැවත පිළිසකර කිරීමට වෙලා. පිටබැද්දර ප්‍රදේශය නිරීක්ෂණය කරන විට ජනතාව වර්ෂාවට බියක් දක්වන බව මට පෙනුණා. එදින රාත්‍රියේදී මටත් වර්ෂාව පිළිබඳව සැකයක් ඇතිවුණා. ඒ නිසා වර්ෂාවෙන් ජනතාවට ඇතිවන බිය පහ කරමින් ඔවුන්ට වෙනත් වාසස්ථාන දීමටත් අප ඉදිරියේදී කටයුතු කරනවා.

දේශපාලන බේදයකින් තොරව පළාත් සභා, මධ්‍යම ආණ්ඩුව ඇතුළු සියලුම දෙනා ආපදා අවස්ථාවේදී කටයුතු කළ නිසා සහන සැලසීමේ කටයුතු සාර්ථක කර ගැනීමට අපට හැකිවුණා.