FAST NEWS

24×7 Around the Globe

” විපක්ෂේ කෙනෙකුට අහු වුණානම් කියයි ඇඟිලි ඇමති කියලා “

“මට මේ ඇමතිකම දෙනකොට මම දැනගෙන හිටියෙත් නැහැ මොකක්ද මේ ඩිජිටල් කියන්නෙ කියලා.මම ඉස්සෙල්ලාම කළේ මලලසේකර ශබ්දකෝෂය අරගෙන ඕකෙ පරිවර්තනය හොයලා බැලුවා. පරිවර්තනයෙන් කියවාගෙන යනකොට තිබුණා ඇඟිලි වලින් කරන කියලා. මං බැලුවා මළ කෙළියයි විපක්ෂේ කෙනෙකුට ඕක අහුවුණා නම් කියයි මේකා ඇඟිලි ඇමැති කියලා.”

විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා එසේ ප්‍රකාශ කලේ බදුල්ල වියලුව කුට්ටියගොල්ල මහා විද්‍යාලයේ ඊයේ(15)  පැවැති උත්සවයකට සහභාගිවෙමිනි.

තම අමාත්‍ය ධූරය වෙනස් කිරීමට ජනපති කැමැත්තෙන් සිටියත් අගමැතිවරයා ඊට ඉඩ නොදුන් බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හරීන් පප්‍රනාන්දු අමාත්‍යවරයා,

‘‘මට තරහකුත් ආවා. මේක වෙනස් වුණා නම් මට මිනිස්සු සතුටු කරන්න තිබුණා. හැබැයි මං හිතුවා මම ඊළඟ ඡන්දය පරාද  වුණත් කමක් නැහැ ලංකාවේ ළමයින්ගේ හිතන විදි දකින විදි වෙනසක් කරන්න ඕනෑ කියලා.
 
‘‘මට මේ ඇමතිකම දෙනකොට මම දැනගෙන හිටියෙත් නැහැ මොකක්ද මේ ඩිජිටල් කියන්නෙ කියලා. මමත් ඉස්සලම හිතුවේ ඩිජිටල් කිව්වම ඩිජිටල්බෝඩ් එකක් කියලා. මං බැලුවා මේ මොන මගුලක්ද මට හම්බ වුණේ කියලා. මම අහලා තිබුණා ඩිජිටල් කියන්නේ අංකන කියන එක කියලා. අංකන ඇමැති කිව්වට ඔබතුමාලාට තේරෙන්නේ නැහැනේ. මම ඉස්සෙල්ලාම කළේ මලලසේකර ශබ්දකෝෂය අරගෙන ඕකෙ පරිවර්තනය හොයලා බැලුවා පරිවර්තනයෙන් කියවාගෙන යනකොට තිබුණා ඇඟිලි වලින් කරන කියලා. මං බැලුවා මළ කෙළියයි විපක්ෂේ කෙනකුට ඕක අහුවුණා නම් කියයි මේකා ඇඟිලි ඇමැති කියලා. මම අවුරුදු එකහමාරට බැංකුවකට ගිහිල්ලා නැහැ. මගේ සියලු බැංකු ගනුදෙනු කරන්නේ ෆෝන් එකෙන්. අද තාක්ෂණ දියුණුවත් එක්ක ලෝකයේ ඩිජිටල්කරණය කියන්නේ  සියලු දේ තමන්ගේ ස්මාර්ට් ජංගම දුරකථනය ඇතුළට ගෙන ඒමයි.”