මධ්‍යම තැපැල් හුවමාරුවේ සහ දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල වල හා උප තැපැල් කාර්යාලවල ගොඩගැසුණු ලිපි සහ භාණ්ඩ බෙදා හැරීම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කර තිබේ.
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැදවුම්කරු චින්තක බණ්ඩාර සදහන් කළේ තැපැල් සේවකයන් ආරම්භ කළ පැය 48 ක වර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමත් සමග ලිපි බෙදා හැරීමේ කටයුතු ආරම්භ කළ බවයි.
ඓතිහාසික වටිනාකමකින් යුත් තැපැල් කාර්යාල ගොඩනැගිලි සහ එහි ඉඩම් කිහිපයක් විදෙස් හෝටල් ව්‍යාපෘතියකට ලබාදීමට විරෝධය පළ කිරීම ඇතුලූ කරුණු කිහිපයක් මුල් කරගනිමින් තැපැල් සේවකයින් සංකේත වර්ජනයක් ආරම්භ කළේ සඳුදා මධ්‍යම රාත්‍රියේ සිටය.
ඒ අනුව වාර්තා වූයේ මධ්‍යම තැපැල් හුවමාරුවේ සහ දිවයින පුරා තැපැල් කාර්යාලවල ලිපි ලක්ෂ 20 කට වැඩි ප්‍රමාණයක් ගොඩගැසී තිබුණු බවයි.
මේ අතර, ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැදවුම්කරු චින්තක බණ්ඩාර වැඩිදුරටත් සදහන් කළේ ඉදිරි සතිය ඇතුළත මෙම ගැටලූවට විසදුමක් නොලැබුණහොත් ලබන 26 වනදා සිට අඛන්ඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි.









