වයස අවුරුදු 12 පිරිමි දරුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් කළැයි මහාධිකරණයේදී පළමුවර නඩුව කැඳවීමේදී වරද පිළිගත් සැකකරුවෙකුට රුපියල් විසිදහසක දඩමුදලක් හා වසර 5ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කළ කුලියාපිටිය පළාත්බද මහාධිකරණ විණිසුරු එම් සී බී එස් මොරායස් අදාළ සිරදඬුවම විසිවසරකට අත්හිටුවීමට නියම කර තිබේ.
එසේම වින්දිත දරුවාට රුපියල් ලක්‍ෂ 5ක වන්දියක්ද ගෙවියයුතු බවට අධිකරණය නියමකර ඇති අතර අදාළ දඩය නොගෙවන්නේනම් අමතර වසරක සිරදඬුවමක්ද වන්දිය නොගෙවන්නේනම් අමතර වසර 5ක සිරදඬුවමක්ද එහිදී සැකකරුට නියම කරඇති බව වාර්තා වේ.
මෙලෙස දඬුවම් නියම වූයේ වෙරලුගම තෝරකොටුව වත්ත මුර සේවකයෙකු වූ පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙකුට බව සදහන්ය.
වතු සේවකයෙකුගේ පුතෙකු වූ අදාළ 12 හැවිරිදි සිසුවා වතු බංගලාවේ රූපවාහිනී නරඹා නිවසට පැමිණෙන අවස්ථාවේ සැකකරු විසින් එම දරුවා බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවට වාර්තා වේ.
පසුව දිගින් දිගටම සැකකරු විසින් දරුවාට අපයෝජනය කර ඇති අතර එක්දිනකදී තම බාල සොහොයුරාද සමඟ එම දරුවා වතු බංගලාවේ රූපවාහිනී නරඹා පැමිණෙමින් සිටි අතරතුරදීද සැකකරු විසින් බාල සොහොයුරාට ගීත ගායනාකරමින් සිටින ලෙස පවසමින් නැවතත් දරුවා අපයෝජනය කර ඇති බව සදහන්ය.
අනතුරුව එම අවස්ථාවේ බාල සොහොයුරා විසින් අනපේක්ෂිතව දුටු සිදුවීමක් ඔහු සිය දෙමව්පියන්ට පවසා ඒ පිළිබඳව ඔවුන්ගෙන් විමසා ඇති අතර එහිදී දෙමව්පියන් විසින් ඒ පිලිබඳව අපයෝජනයට ලක්වූ සිසුවාගෙන් විමසීමේදී ඔහු විසින් දෙමව්පියන්ට සියල්ල හෙළිකර ඇති බව වාර්තා විය.
පසුව දරුවාගේ දෙමව්පියන් විසින් ඒ පිළිබඳව පොලිසියට දැනුම්දී ඇති අතර
කුලියාපිටිය කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂිකාගේ උපදෙස් මත අදාළ සැකකරු අධිකරණය වෙත ඉදිරිපත්කර තිබේ.
එහිදී පළමු දිනයේම සැකකරු විසින් තමන් වැරදිකරු බවට පිළිගැනීමත් සමඟ අධිකරණය විසින් සැකකරු වරදකරු කරමින් එම තීන්දුව ලබාදී ඇත.









