FAST NEWS

24×7 Around the Globe

ඉන්ද්‍රියයන් දන් දී මියගිය පාසල් ගුරුවරියගේ ඛේදවාචකය..

ගම්පොල – නුවර මාර්ගයේ හීන්නාරංදෙණිය ප්‍රදේශයේ මාර්ගය අයිනේ සිටි සිවුදෙනකු යට කරමින් මෝටර් රථයක්‌ සිදු කළ අනතුරකින් රෝහල්ගත කර සිටි පාසල් ගුරුවරිය ද මිය ගියාය.

එසේ මියගොස්‌ ඇත්තේ වැලිගල්ල හීන්නාරංදෙණිය පදිංචිව සිටි 28 හැවිරිදි යුගාන්ති ඉන්ද්‍රචාපා නමැති විවාහක ගුරුවරියකි.

ඇය සමඟ මෙම අනතුරට ලක්‌වූ සිවුදෙනාගෙන් එක්‌ අයකු අනතුර සිදු වූ පස්‌වැනි දින මියගිය අතර මෝටර් රථය පදවාගෙන පැමිණි අය සමඟ සිවුදෙනකු තුවාල ලබා ගම්පොල රෝහලට ඇතුළත් කොට තිබිණි.

මියගිය යුගාන්ති සමගින් ඇයගේ මව ද බරපතළ තුවාල ලබා ගම්පොල ශික්‍ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මේ වන විටත් ප්‍රතිකාර ලබමින් සිටී.

ඔවුන් සමඟ සිටි ඥතියකු වන විශ්‍රාමික ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂකවරයකු එම ස්‌ථානයේදීම මියගිය අතර ඔහුගේ බිරිඳ ද රෝහල්ගත කොට ඇත.

මියගිය යුගාන්ති ගම්පොල රෝහලෙන් මහනුවර මහ රෝහලට යවා පසුව නාවලපිටිය දිස්‌ත්‍රික්‌ මහ රෝහල වෙත එවා යන්ත්‍ර ආධාරයෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස්‌ තිබිණි.

තිදෙනකුගෙන් සමන්විත පවුලේ වැඩිමලා වූ යුගාන්ති ගම්පොල සහිරා විදුහලේ ගුරුවරියක වූ අතර ඇය ගම්පොල අධ්‍යාපන කලාපයේ සිටි එකම ඉංග්‍රීසි මාධ්‍ය භූගෝල ගුරුවරිය ද වූවාය.

ඇයගේ නැඟණියන් දෙදෙනා ද උපාධිධාරීන් වන අතර මව පේරාදෙණිය සරසවිඋයන මහා විද්‍යාලයේ ගුරුවරියක වූවාය.

විශ්‍රාමික රජයේ නිලධාරියකු වන සුනිල් ශාන්ත වන ඇගේ පියා යුගාන්ති පිළිබඳව මෙසේ පැවසුවේය.

මේ දුව බැඳලා ටික කාලයයි. ඒ පුතා විදේශගත රැකියාවක්‌ කරන්නේ. දුව හරිම ධාර්මික ජීවිතයක්‌ තමා ගත කළේ. එයා ඇස්‌ දන් දෙන්න ඕන කියලා මගෙත් එක්‌ක ගිහින් එයට අදාළ කටයුතු කළා. පසුව මැරුණාට පස්‌සේ මේ ශරීරයේ ඉන්ද්‍රියයන් අපට ඕන නෑනේ කියලා වකුගඩු ඇතුළු සියලු ඉන්ද්‍රියයන් දන් දෙන්නත් කටයුතු කළා.

දළදා වහන්සේටත් පුදුම භක්‌තියක්‌ තිබුණේ. දානමාන කටයුතු ගැනත් එහෙමයි. මෙම අවාසනාවන්ත සිද්ධිය වෙන්න දින කීපයකට කලින් එයා පවුම් එකහමාරක රන් මාලයක්‌ හදලා දළදා කරඬුවට පැළැන්දුවා. ඒ වගේ හොඳ කෙනකුට තමයි මේ වගේ දෙයක්‌ වුණේ.

යුගාන්ති ඉන්ද්‍රචාපා නාවලපිටිය රෝහලේදී මියගියාය. මැෂින් ආධාරයෙන් ක්‍රියාත්මක වූ ඇයගේ ඉන්ද්‍රියයන් ඇය පැතූ ආකාරයෙන්ම දන්දීම සඳහා කටයුතු සිදු වුණි. ඉන් අනතුරුව දේහය 12 දා සවස නිවස වෙත ගෙන ඒමට කටයුතු යොදා තිබිණි.

පාසල් ගුරුවරුන් සමඟ ළමුන් විශාල සංඛ්‍යාවක්‌ ඇගේ නිවස වෙත පැමිණෙද්දී මේ කිසිත් නොදන්නා ඇගේ මව මේ වන විටත් ගම්පොළ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නීය.