FAST NEWS

24×7 Around the Globe

“අයිසේ යනවා ඕයි..” – ඇමති ජෝන් මාධ්‍යවේදියෙකුට කළ තර්ජනය..

ජෝන් අමරතුංග අමාත්‍යවරයා “හිරු” මාධ්‍යවේදියාට තර්ජනය කර පහරදීමට උත්සාහ කිරීමේ සිද්ධිය පාර්ශ්ව රැසක්‌ මේ වන විට දැඩි ලෙස හෙළාදැක ඇත.

තමා කළ තර්ජනය සම්බන්ධයෙන් අමාත්‍යවරයා වහාම එම මාධ්‍යවේදියාගෙන් සමාව ගත යුතු බව ද එම පාර්ශ්ව සඳහන් කරයි.

විරෝධය පළ කළ අවස්‌ථාවට පෙර පැවති සාකච්ඡාව ආවරණය කිරීම සඳහා කිසිදු මාධ්‍යවේදියකුට ආරාධනා නොකළ බව හැඟවීමට ජෝන් අමාත්‍යවරයා හා ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා දැඩි උත්සාහයක යෙදෙන බවද වාර්තා වේ.

කෙසේ වෙතත් මුතුරාජවෙල ප්‍රදේශයට කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාව “හිරු” මාධ්‍යවේදියා ඇතුළු අනෙක්‌ මාධ්‍යවේදීන් පැයකට ආසන්න කාලයක්‌ තිස්‌සේ ආවරණය කළ ද එහිදී මාධ්‍යවේදීන්ට ආරාධනා නොකළ බවට කිසිවෙක්‌ පවසා නැත.

මුතුරාජවෙල ප්‍රදේශයේ කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් ජෝන් අමරතුංග අමාත්‍යවරයාගේ කදානේ පිහිටි නිවසේදී පසුගිය 08 වැනිදා එම සාකච්ඡා පැවැත්වුණ අතර සාකච්ඡාව අවසානයේ එහි සිටි “හිරු” මාධ්‍යවේදියාට අමාත්‍යවරයා විසින් මෙසේ තර්ජනය කර ඇත.

අමාත්‍යවරයා අදාළ සාකච්ඡාවෙන් පසු පිටතට පැමිණි අවස්‌ථාවේ මාධ්‍යවේදීන් ප්‍රශ්න ඇසූ විට දැක්‌වූයේ මෙවැනි ප්‍රතිචාරයකි.

“මේ බොරු දාන්න එන්න එපා මඟුල්. ගහනවා තුන් හතර දෙනාටම මැරිලා යන්න. අයිසේ යනවා ඕයි. කෝ පොලිසිය මේ අයව එළියට දානවා…” යනුවෙන් බැණ වදින අයුරු මාධ්‍යවේදීන්ගේ කැමරාවල පටිගත වී තිබේ.

කෙසේ වෙතත් ජෝන් අමරතුංග අමාත්‍යවරයා සහ ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා සඳහන් කරන්නේ අදාළ සාකච්ඡාව ආවරණය කිරීමට කිසිදු මාධ්‍යවේදියකුට ආරාධනා නොකළ බවයි.

තර්ජනයට ලක්‌වූ හිරු මාධ්‍යවේදියා පවසා ඇති බව වාර්තා වූයේ පසුගිය 07 වැනිදා අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා දුරකථනයෙන් තමා අමතා අදාළ සාකච්ඡාව පිළිබඳව දැනුම් දුන් බවය.

ඒ අනුව පසුවදා පෙරවරු 10.00 ට ආරම්භ වූ අදාළ සාකච්ඡාව පැයකට ආසන්න කාලයක්‌ හිරු මාධ්‍යවේදියා ඇතුළු අනෙකුත් මාධ්‍යවේදීන් ආවරණය කර තිබූ අතර එහිදී මාධ්‍යවේදීන්ට කිසිදු විරෝධයක්ද‌ පළ වී නැත.