FAST NEWS

24×7 Around the Globe

මෛත්‍රී මහින්ද මුහුණට මුහුණ හමුවන කතාව ගැන අලුත්ම ආරංචිය මෙන්න..

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර මුහුණට මුහුණ හමුවක්‌ සඳහා කිසිදු සාකච්ඡාවක්‌ මෙතෙක්‌ සිදු වී නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පැවැසීය.

බොරැල්ල ආචාර්ය එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේ ඊයේ (05 දා) පැවැති ඒකාබද්ධ විපක්‍ෂ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු කළ විමසුමකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා පැවැසුවේ තමා ඒ බව පවසන්නේ ඉතා වගකීමෙන් බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හැරුණු විට ඒකාබද්ධ විපක්‍ෂයේ ඊළඟට සිටින ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයා තමා බැවින් එවැනි සාකච්ඡාවක්‌ තිබේ නම් ඒ පිළිබඳව තමා දැනගතයුතු බවත් තමා පක්‍ෂයේ උප සභාපතිවරයකු ලෙස මෑතකදී පැවැති පක්‍ෂ මධ්‍යම කාරක සභාවට ගිය බවත් එහිදීත් එවැනි දෙයක්‌ සාකච්ඡා නොවූ බවත් මන්ත්‍රීවරයා පැවැසීය.

ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීවරුන් අතර ද එවැනි කිසිදු සාකච්ඡාවක්‌ සිදුවී නැති බැවින් එවැනි දෙයක්‌ සිදු නොවන බව තමා ඉතා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බව ද හෙතෙම පැවැසීය.