FAST NEWS

24×7 Around the Globe

මියගිය යතුරුපැදි ශූරයා තරගාවලියේදී අනතුරට ලක් වූ හැටි.. (වීඩියෝ)

නුවරඑළිය මාර්ග මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේදී පසුගිය අප්‍රේල් 23 අනතුරකට ලක්ව මහනුවර මහ රෝහලේ සති 5 ක පමණ කාලයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ යතුරුපැදි ශූර ආනන්ද වෙඩිසිංහ ඊයේ (29) පස්වරුවේ මියගියේය.

අනතුරින් වෙඩිසිංහගේ හිස ලී කොටයක වැදී පාදයක්ද දැඩි ලෙස බිඳීයාම නිසා ලද බරපතල තුවාල මරණයට හේතු විය.

මිය යන විට 47 වැනි වියේ පසුවූ වෙඩිසිංහ සිවුදරු පියෙක් වන අතර මියයන තෙක්ම සිහිසුන් තත්වයෙන් පසුවූ ඔහු සුවකිරීමට හැකි ප්‍රතිකාර ජපානයට ගොස් කළ හැකි බව පවුලේ අයට දැනගන්නට ලැබී තිබුණමුත් ඔහුගේ බිරිද සහ දරුවන්ට ඒ සඳහා අවශ්‍ය වූ  මිලියන 39 ක පමණ මුදල සොයාගත හැකිවී තිබුනේ නැත.

පිට පිට 6 වරක් නරියාකන්ද සුපර්ක්‍රෝස් තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාසිටි වෙඩිසිංහ කිහිප වරක්ම ජාතික මොටෝ ක්‍රොස් ශූරතාවටද දිනා ඇත.

ශ්‍රී ලංකා යුද හමුදාවටත්, රණවිරුවන්ටත් නිතර උපකාර කළ අයෙකු ලෙසද ප්‍රකට ඔහු  නුවරඑළිය තරගාවලියේ සුපර් මෝටාර් තරගයේදී සුරාජ් පෙරේරාගේ යතුරුපැදිය සහ සිය යතුරුපැදිය එකිනෙක ගැටීමෙන් ආනන්ද වෙඩිසිංහ අනතුරට ලක්විය.

එකිනෙක පැටලීම නිසා එහිදී ඔවුන් දෙදෙනාටම සිය යතුරුපැදි පාලනය කරගැනීමට නොහැකි වූ අතර පාලනයෙන් ගිලිහුණ වෙඩිසිංහගේ යතුරුපැදිය ආරක්ෂක වැටක ගැටී ඉවතට විසිව ගියේය.

ආනන්ද වෙඩිසිංහව මුලින්ම නුවරඑළිය රෝහලට ඇතුළත් කළ නමුත් අවශ්‍ය ප්‍රතිකාර කිරීම සඳහා එහි ප්‍රමාණවත් තරම් පහසුකම් නොමැති වූ බැවින් ඔහුව මහනුවර මහ රෝහලට මාරුකර තිබූ අතර ඔහු මියයන ලද්දේ එහිදීය.

අනතුර සිදුවන අවස්ථාවේ ලබාගත් වීඩියෝවක් පහතින්..