සංචාරක දකුණු අප්‍රිකාව පරදා තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ ජය තරග 2-1 ක් ලෙස හිමිකරගැනීමට බංග්ලාදේශය සමත් විය. ඒ ඊයේ (15) ඩකා හිදී පැවති තෙවැනි හා අවසන් එක්දින තරගයෙනුත් කඩුලු 9 ක පහසු ජයක් ලබමිනි. මෙය බංග්ලාදේශ කණ්ඩායමක් දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින තරගාවලි ජයක් ලැබූ පළමු අවස්ථාව ලෙස ඉතිහාස ගත විය.
තරගයේ ලකුණු 169 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශය පන්දුවාර 26 කදී එක් කඩුල්ලක් දැවී එම ඉලක්කය සපුරා ගැනීමට සමත් විය. බංග්ලාදේශය ජයග්‍රහණය කරා රැගෙන ගිය ආරම්භක පිතිකරුවන් වූ සෞම්‍යා සර්කාර් ලකුණු 90 ක්ද තමීම් ඉක්බාල් ලකුණු 61 ක් ද රැස් කළහ.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු ඉනිමට වර්ෂාවෙන් බාධා පැමිණි අතර ඒ හේතුවෙන් තරගයේ එක් ඉනිමක් පන්දුවාර 40 කට සීමා කෙරිණි. ඒ අනුව දකුණු අප්‍රිකාවට සිය නියමිත පන්දුවාර 40 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 168 ක් පමණි






